ග්රීසියේ තෙසලෝනිකි නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ රයන් එයාර් (Ryanair) ගුවන් යානයක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැන මේ වන විට ලෝකයම කතා වෙනවා. ගුවන්ගත වී සුළු මොහොතකින් යානයේ ජනේලයක් හදිසියේම ගැලවී යාම නිසා, එහි අසුන්ගෙන සිටි හැට වියේ පසු වූ සර්බියානු ජාතික මගියෙක් ජනේලයෙන් පිටතට ඇදී ගොස් තිබෙනවා. වාසනාවකට මෙන් ඔහු සිය ආසන පටිය ගලවා නොතිබූ නිසා, අසල සිටි අනෙකුත් මගීන් වහාම ක්රියාත්මක වී ඔහුව නැවත ඇතුළට ඇද ගැනීමට සමත් වුණා.
මගීන් පවසන ආකාරයට යානය තුළ විශාල ශබ්දයක් ඇසීමත් සමඟ ඔක්සිජන් මාස්ක් පහළට වැටී තිබෙනවා. යානයේ එන්ජිමක කොටසක් ජනේලයේ වැදීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි සැක පළවෙන්නේ. කෙසේ වෙතත්, ගුවන් නියමුවන් වහාම ක්රියාත්මක වී නැවතත් ගුවන් යානය ග්රීසියට ගොඩබෑමට කටයුතු කළා. මේ සිදුවීමෙන් මගියෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර, ඔවුන්ව වෙනත් ගුවන් යානයකින් නැවතත් ගමනාන්තය වෙත යැවීමට ගුවන් සමාගම පියවර ගත්තා.
මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුවන් සේවා බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වසර දහඅටක් පැරණි මෙම යානය මෝල්ටා එයාර් සමාගමට අයත් එකක් බවයි වාර්තා වෙන්නේ. ගුවන් ගමනකදී මෙවැනි බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම මගීන් තුළ දැඩි භීතියක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.

Discussion & Feedback