සිංගප්පූරුවේ ප්රධාන පෙළේ සමාගමක ප්රධාන විධායක නිලධාරියෙක් තමන්ගේ හිටපු පෙම්වතියට ආදර සම්බන්ධතාවය පැවති කාලයේදී වියදම් කළ සිංගප්පූරු ඩොලර් 468,000කට අධික මුදලක් නැවත ලබා ගැනීමට උත්සාහ කළත්, අවසානයේ ඔහුට එම නඩුව පරාජය වීමට සිදුවුණා. මෙම පුද්ගලයා වන චන්දර් අගර්වාල් සහ හිටපු ගුවන් සේවිකාවක් වන ෆෙලිෂියා ලී අතර පැවති ආදර සම්බන්ධතාවය බිඳී ගියේ ඔහු ඇය ගැන සැකයක් ඇති කර ගැනීමත් සමඟයි. ඉන්පසුව ඔහු තමන් ඇයට ලබා දුන් මුදල් ණය මුදල් ලෙස හුවා දක්වමින් අධිකරණයේ නඩු පැවරුවා. නමුත් අධිකරණය තීන්දු කළේ මේවා කිසිසේත්ම ණය මුදල් නොවන බවත්, ඔහු තමන්ගේ කැමැත්තෙන්ම ඇයට ලබා දුන් තෑගි බවත්ය.
මෙම නඩුව විභාග කළ විනිසුරුවරයා සඳහන් කළේ, අගර්වාල් මහතා ඇය කෙරෙහි දැඩි ආශාවකින් සිටි නිසාම ඇයට මිල අධික තෑගි ලබා දීමට පුරුදුව සිටි බවයි. ඇය එම තෑගි ලබා ගැනීමට මුලින් පැකිලීමක් දැක්වුවද, ඔහු ඒවා බලෙන්ම මෙන් ලබා දී තිබෙනවා. සම්බන්ධතාවය බිඳී ගිය පසු පළිගැනීමේ චේතනාවෙන් ඔහු මෙම නඩුව ගොනු කර ඇති බව විනිසුරුවරයා නිරීක්ෂණය කළා. කිසිදු ලිඛිත සාක්ෂියක් හෝ ණය ගිවිසුමක් නොමැති වීම නිසා ඔහුගේ ඉල්ලීම අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබුවා. ආදරය වෛරයක් බවට පත් වූ විට මිනිසුන් කොතරම් අතාර්කික ලෙස ක්රියා කරනවාද යන්න මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වෙනවා.

Discussion & Feedback