මොරොක්කෝවේ ටැන්ජියර් නුවර සිට බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන් තොටුපළ වෙත පැමිණි එයාර් අරාබියා ගුවන් යානයක රෝද අංශය තුළ තිබී හඳුනා නොගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තියෙනවා. පසුගිය ජුනි 16 වැනිදා යානය ගොඩබෑමෙන් පසුව සිදුකළ සාමාන්‍ය පරීක්ෂාවකදී ගුවන් යානා ඉංජිනේරුවරයෙකුට තමයි මේ සිරුර දැකගන්න ලැබිලා තියෙන්නේ. වහාම ක්‍රියාත්මක වුණු ගුවන් තොටුපළ බලධාරීන් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළත්, ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් පැවැත්වුණු මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ, ගුවන් යානය ඉහළ අහසේ පියාසර කරන විට රෝද අංශය තුළ පවතින අධික ශීතල සහ ඔක්සිජන් හිඟකම නිසා හුස්ම ගැනීමට නොහැකිව හෘදයාබාධයක් ඇති වී ඔහු මියගොස් ඇති බවයි. මේ තත්ත්වය අතිශය භයානක සහ අස්වාභාවික මරණයක් ලෙසයි කොරෝනර් ජෝසප් ටර්නර් මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. මියගිය පුද්ගලයා කවුද කියලා තවමත් හඳුනාගෙන නැති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මීළඟ නඩු විභාගය 2027 වසරේ පෙබරවාරි 24 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

Discussion & Feedback