ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි සුප්රසිද්ධ නිදහස් ප්රතිමාව ආසන්නයේදී බෝට්ටුවක් පෙරළී යාමෙන් කාන්තාවක් සහ මාස පහක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වෙනවා. පසුගිය සෙනසුරාදා රාත්රියේදී මෙම අනතුර සිදුවී ඇති අතර, බෝට්ටුව පදවාගෙන ගිය පුද්ගලයා නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔහුව මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට එරෙහිව නොසැලකිලිමත්කම නිසා අනතුරක් සිදු කිරීමේ චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිදුවූ වහාම වෙරළාරක්ෂක බලකාය, ගිනි නිවන ඒකක සහ පොලිසිය එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළා. එහිදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දොළොස් දෙනෙකු බේරා ගැනීමට ඔවුන් සමත් වුණා. මෙම බෝට්ටු ගමන නීතිවිරෝධී ලෙස සිදු කළ එකක්ද යන්න පිළිබඳව මේ වන විටත් වෙරළාරක්ෂක බලකාය පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. අනතුරට ලක්වූවන්ගේ නම් ගම් හෝ අනතුර සිදුවීමට නිශ්චිත හේතුව තවමත් හෙළි කර නැහැ.
මෙම මෙහෙයුම සඳහා පොලිස් හෙලිකොප්ටර් යානයක් සහ බෝට්ටු කිහිපයක්ම යොදවා තිබූ අතර, ජීවිත බේරා ගැනීමට උදව් කළ සියලුම පාර්ශ්වයන්ට වෙරළාරක්ෂක බලකාය සිය ස්තූතිය පළ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මකයි.

Discussion & Feedback