නිව්යෝර්ක් නගරයේ අටවන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කිරීම වසරක කාලයකට තහනම් කිරීමට නගරාධිපති සෝරාන් මම්දානි පියවර අරගෙන තියෙනවා. මේ තීරණය නිසා එරට පාසල් සිසුන් ලක්ෂ හයකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වෙනවා. දරුවන්ට ගුරුවරුන්ගේ මඟපෙන්වීම සහ මිනිසුන් අතර පවතින අන්තර්ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බවත්, අභියෝගාත්මක ගැටලු තනිවම විසඳා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් නගරාධිපතිවරයා පෙන්වා දෙනවා. මේ වසරක කාලය තුළ අධ්‍යාපනයට AI තාක්ෂණයෙන් සිදුවන බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට නගර බලධාරීන් බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත්, උසස් පාසල් සිසුන් සඳහා මෙය සම්පූර්ණ තහනමක් නෙවෙයි. විශේෂයෙන් පුහුණු කළ ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් AI වැඩසටහන් කිහිපයක් පරීක්ෂණාත්මකව භාවිත කිරීමට ඔවුන්ට අවසර ලැබෙනවා. ඒ වගේම, සියලුම උසස් පාසල් සිසුන් AI තාක්ෂණයේ මූලික කරුණු, දත්ත පෞද්ගලිකත්වය සහ එහි සදාචාරාත්මක භාවිතය පිළිබඳව දැනුවත් කරන විශේෂ පාඨමාලාවක් හැදෑරීම අනිවාර්ය කර තියෙනවා. ගුරුවරුන්ට තම ඉගැන්වීම් කටයුතු සැලසුම් කරගන්න AI මෙවලම් පාවිච්චි කරන්න පුළුවන් වුණත්, සිසුන්ගේ ලකුණු ලබාදීම හෝ ශ්‍රේණිගත කිරීම් වැනි තීරණාත්මක දේවල් සඳහා AI භාවිතය තහනම් කර තිබීම විශේෂත්වයක්. ආබාධිත සිසුන් සහ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා පවතින සහායක තාක්ෂණයන්ට මේ තහනම බලපාන්නේ නැහැ.

Discussion & Feedback