කොළඹ ප්රධාන පෙළේ හෝටලයක රථගාලේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සිගරට් තොගයක් සමඟ මැලේසියානු ජාතිකයෙක්ව කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. පසුගිය ජූලි 25 වැනිදා සිදුකළ වැටලීමකදී තමයි මේ සැකකරුව අල්ලගන්න පුළුවන් වුණේ. මොහු සතුව තිබී බදු නොගෙවා මෙරටට ගෙනා විවිධ වර්ගයේ සිගරට් 36,200ක් පොලිස් භාරයට ගැනීමට හැකි වුණා.
පොලිසිය කියන විදිහට, මේ සිගරට් තොගය ප්රවාහනය කිරීම සඳහා කැබ් රථයකට පටවමින් සිටියදී තමයි වැටලීම සිදුකරලා තියෙන්නේ. ඒ වෙලාවේදී සිගරට් තොගයත් සමඟ එම කැබ් රථයත් පොලිස් භාරයට අරන් තියෙනවා. අත්අඩංගුවට ගත් මැලේසියානු ජාතිකයා වයස අවුරුදු 30ක් පමණ වන අයෙක්. මොහුව ඉදිරියේදී කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

Discussion & Feedback