මැලේසියාවේ පාසලක වැසිකිළියක් තුළදී තම පාසල් මිතුරියක් වූ යැප් ෂින්ග් ක්සුන් නම් 16 හැවිරිදි දැරියව පිහියකින් ඇන ඝාතනය කළ 14 හැවිරිදි පිරිමි ළමයාව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මෙම සිදුවීම මුළු මැලේසියාවම කම්පනයට පත් කළ අතර, දරුවන් මත සමාජ මාධ්‍යවලින් සිදුවන බලපෑම් පිළිබඳව විශාල කතාබහක් ඇති වුණා. නඩු විභාගයේදී හෙළි වුණේ මෙම සිසුවා වයස අවුරුදු නවයේ සිටම මානසික රෝගයකින් සහ මායාවන්ගෙන් පෙළෙන අයෙකු බවයි. මනෝ වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ ඔහු භින්නෝන්මාද රෝගයෙන් පෙළෙන බවත්, කොවිඩ් වසංගත සමයේ ඔහුගේ මානසික තත්ත්වය තවත් බරපතල වූ බවත්ය.
කෙසේ වෙතත්, අධිකරණය විසින් ඔහුව නිදහස් කළත්, ඔහුට තවදුරටත් මානසික රෝහලක රඳවා ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා. සමාජයට නැවත පැමිණීමට තරම් ඔහු සුවය ලබන තුරු ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිය යුතුයි. මෙම සිද්ධියෙන් පසු මැලේසියානු බලධාරීන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති පවා හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් තබා ගැනීම මේ වසරේ සිට තහනම් කර ඇති අතර, අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හානි අවම කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback