කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ අති නවීන නිවාස සංකීර්ණයක් ඊයේ (4) කිරුළපන ප්‍රදේශයේදී නිල වශයෙන් ජනතා අයිතියට පත් වුණා. ඩී.එම්. කොළඹගේ මාවතේ පිහිටි මෙම ‘ද රෙසිඩන්සීස් කිරුළපන’ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5.78ක මුදලක් වැය කර තිබෙනවා. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ මහල් 11කින් සමන්විත කුළුණු දෙකක නිවාස ඒකක 624ක් අන්තර්ගතයි. නාරාහේන්පිට සහ කිරිමණ්ඩල මාවත අවට පදිංචිව සිටි පවුල් මෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේදී අවතැන් වූ පවුල් සඳහා මෙම නිවාස ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
මෙම නිවාස සංකීර්ණය තුළ ගිනි නිවන පද්ධති, විදුලි සෝපාන, වාහන නැවැත්වීමේ පහසුකම් වගේම අත්‍යවශ්‍ය සේවාවන් රැසක්ම තියෙනවා. විශේෂයෙන්ම පෙර පාසලක්, ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොදු ශාලාවක්, සුපිරි වෙළඳසැලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ පොලිස් මුරපොළක් වැනි පහසුකම් මෙහි අන්තර්ගත වීම පදිංචිකරුවන්ට ලොකු සහනයක්. ඒ විතරක් නෙවෙයි, ඉදිරි අදියරේදී ප්‍රදේශයේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම, කිරුළපන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සහ ගංවතුර පාලනය සඳහා ජල රඳවන පොකුණක් ඉදිකිරීමටත් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම වෙළඳසැල් 38ක් සහිත ගොඩනැගිල්ලක්, ඇවිදින මංතීරු සහ ව්‍යායාම මධ්‍යස්ථානයක් ඉදිකිරීමෙන් පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය තවත් ඉහළ නැංවීමට බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback