මහත්මා ගාන්ධිතුමාගේ අතින්ම ලියැවුණු ඉතා දුර්ලභ සටහන් එකතුවක් මුම්බායි නුවර පැවති වෙන්දේසියකදී රුපියල් කෝටි 16.2ක වාර්තාගත මුදලකට අලෙවි වෙලා තියෙනවා. 1944 සිට 1946 දක්වා කාලය තුළ අහිංසාවාදය, සත්‍යය සහ ආත්ම දමනය වැනි කරුණු පිළිබඳව ගාන්ධිතුමා විසින් ලියන ලද අත්පිටපත් 688ක් මේ අතරට ඇතුළත් වෙනවා. පසුව මේවා ‘A Thought for the Day’ නමින් පොතක් ලෙසත් ප්‍රකාශයට පත් කර තිබුණා. ඉන්දියාවේ සෆ්රොනාට් (Saffronart) ආයතනය විසින් සංවිධානය කළ මෙම වෙන්දේසියට ගාන්ධිතුමාගේ සමීපතමයෙකු වූ ආනන්ද් ටී. හින්ගෝරානි මහතාගේ පවුලේ අය සතුව තිබූ වටිනා භාණ්ඩ රැසක් එක් කර තිබුණා.
මෙම වෙන්දේසියට ගාන්ධිතුමාගේ අත් අකුරින් ලියැවුණු ලිපි ලේඛන පමණක් නෙවෙයි, එතුමා භාවිත කළ අතේ ගෙන යා හැකි චරකය (Peti Charkha) සහ වෙස්ට් එන්ඩ් ඔරලෝසුව වැනි පෞද්ගලික භාණ්ඩ කිහිපයකුත් ඇතුළත් වෙලා තිබුණා. හින්ගෝරානි පවුලේ අය පවසන්නේ, පරම්පරා ගණනාවක් තිස්සේ ඉතාමත් ආරක්ෂිතව රැකගත් මේ දේවල් ලෝකයටම බෙදාගැනීමට ලැබීම විශාල ගෞරවයක් බවයි. ගාන්ධිතුමාගේ ජීවිතය සහ එතුමාගේ දර්ශනය පිළිබඳව මේ සටහන් හරහා ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්. කෙසේ වෙතත්, මේ වටිනා ඓතිහාසික භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා කවුද යන්න පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් හෙළි කරලා නැහැ.

Discussion & Feedback