ලෝකයේ බොහෝ රටවල බැටරි මාරු කිරීමේ ක්‍රමය (Battery Swapping) එතරම් සාර්ථක නොවූවත්, කැනේඩියානු වාහන අමතර කොටස් දැවැන්තයෙක් වන මැග්නා ඉන්ටර්නැෂනල් (Magna International) සමාගම ඉන්දියාවේ මෙම ව්‍යාපෘතිය කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඉන්දියාවේ දිනෙන් දින වර්ධනය වන බෙදාහැරීමේ සේවාවන් සහ මිලියන ගණනක් වන ද්වි-රෝද සහ ති-රෝද රථ සඳහා මෙම ක්‍රමය ඉතාම සුදුසු බව ඔවුන් පෙන්වා දෙනවා. මේ වෙනුවෙන් ඔවුන් බැංගලෝර් කේන්ද්‍ර කරගත් ‘යුමා එනර්ජි’ (Yuma Energy) සමාගම වෙත අලුතින් ඩොලර් මිලියන 35ක ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
දැනටමත් යුමා සමාගම ඉන්දියාවේ නගර 18ක බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථාන 400කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන අතර, ඔවුන්ගේ ජාලය තුළ බැටරි ලක්ෂයක් පමණ ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය විදුලි වාහනයක් ආරෝපණය කිරීමට පැය ගණනක් ගත වුවත්, යුමා හරහා මිනිත්තු දෙකක් වැනි කෙටි කාලයකින් බැටරියක් මාරු කර ගැනීමට රියදුරන්ට හැකියාව ලැබෙනවා. මෙය විශේෂයෙන්ම බෙදාහැරීමේ සේවාවල නිරත වන අයට තම කාලය ඉතිරි කරගනිමින් වැඩි ආදායමක් උපයා ගැනීමට විශාල රුකුලක් වී තිබෙනවා.
මෙම නව ආයෝජනයත් සමඟ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ තම බැටරි සංඛ්‍යාව දෙගුණ කිරීමටත්, චෙන්නායි සහ පූනේ වැනි නගරවලට තම සේවාව ව්‍යාප්ත කිරීමටත් යුමා සමාගම බලාපොරොත්තු වෙනවා. දැනට ඔවුන්ගේ ප්‍රධාන පාරිභෝගිකයා වන්නේ ‘යුලු’ (Yulu) සමාගම වුවත්, මේ වන විට වෙනත් සමාගම් ද ඔවුන්ගේ බැටරි ජාලය සමඟ සම්බන්ධ වෙමින් පවතිනවා. ඉදිරි කාලයේදී ලාභ ලබන මට්ටමට ළඟා වීමට යුමා සමාගම දැඩි උත්සාහයක නිරත වන අතර, ඉන්දියාවේ විදුලි වාහන ක්ෂේත්රයේ විශාල පෙරළියක් කිරීමට ඔවුන් සූදානම්.

Discussion & Feedback