පොප් සංගීතයේ රැජින විදිහට හැඳින්වෙන මැඩෝනා තමන්ගේ අලුත්ම ඇල්බමය වන ‘Confessions II’ එළිදැක්වීමට සමගාමීව ටික්ටොක් (TikTok) වේදිකාවේ අලුත්ම වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. ඇල්බමය නිකුත් වෙන්න දවසකට කලින් පැවැත්වූ මේ සජීවී වැඩසටහන ලොව පුරා මිලියන 2.1කට අධික පිරිසක් නරඹලා තියෙනවා. මේක තනි කලාකරුවෙක් ටික්ටොක් හරහා පවත්වපු වැඩිම ප්රේක්ෂක පිරිසක් සහභාගි වුණු වැඩසටහන විදිහටයි වාර්තා වෙන්නේ. iHeartMedia සමඟ එකතු වෙලා කරපු මේ වැඩසටහන ඇතුළේ රසිකයන් එක්ක කතාබහ කිරීම්, ගීත රසවිඳීම් වගේම විවිධ විනෝදාත්මක අංග බොහොමයක් අන්තර්ගත වුණා.
මේ සජීවී විකාශනයට මිලියන 5.75කට අධික ලයික්ස් ප්රමාණයක් ලැබුණු අතර රසිකයන් 139,000ක් විතර තමන්ගේ අදහස් දක්වලා තිබුණා. බොබ් ද ඩ්රැග් ක්වීන් විසින් මෙහෙයවපු මේ වැඩසටහනට මැඩෝනාගේ දියණිය ලෝලා ලියොන් සහ ඇල්බමයේ නිෂ්පාදක ස්ටුවර්ට් ප්රයිස් ද සහභාගි වුණා. මේ ඇල්බමය නිකුත් වෙලා සතියක් ඇතුළත බිල්බෝඩ් 200 ලැයිස්තුවේ ඉහළින්ම රැඳෙන්න සමත් වුණා වගේම, විචාරකයන්ගෙන් ලැබෙන්නේත් ඉතා හොඳ ප්රතිචාර. මැඩෝනාගේ වයස අවුරුදු 67ක් වුණත්, ඇය අදටත් තරුණ පරපුර අතර කොයිතරම් ජනප්රියද කියන එක මේ සිදුවීමෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලවල්වලදීත් මේ ඇල්බමය වෙනුවෙන් ඇයට නාමයෝජනා රැසක් ලැබෙයි කියලා තමයි සංගීත ලෝකයේ කතාබහ වෙන්නේ.

Discussion & Feedback