ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි බෝඩෝ නගරය දෙසට වේගයෙන් පැතිර යන දරුණු ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. මේ වන විටත් ලැව්ගිනි නගරයට කිලෝමීටර් 15ක් තරම් ආසන්නයට පැමිණ ඇති අතර, ඉදිරි දිනවලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයේ ඇති වූ දරුණුතම ලැව්ගිනි ව්‍යසනය මෙය ලෙස සැලකෙන අතර, මේ වන විටත් හෙක්ටයාර 42,000කට වැඩි වනාන්තර ප්‍රමාණයක් ගින්නට හසුවී තිබෙනවා. ගින්න පාලනය කිරීම ඉතා අපහසු වී ඇත්තේ එය තමන්ගේම සුළං සහ අකුණු මගින් පෝෂණය වන දැවැන්ත ගිනි කුණාටුවක් බවට පත්වීම නිසයි.
මේ අතර ස්පාඤ්ඤයේ වැලෙන්සියා වෙරළබඩ නගරය ආසන්නයේත් නව ලැව්ගිනි හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණනක් ජනතාවට තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවී ඇති අතර, ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස් පවසන්නේ ඉදිරියේදී ඉතා අසීරු කාලයක් උදාවිය හැකි බවයි. ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවල් දෙකෙහිම මේ වන විට ලක්ෂ තුනකට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. ගින්න නිවා දැමීමට නම් දින තුනක් පුරා නොනවත්වා වැසි ඇද හැලිය යුතු බව ගිනි නිවන භටයන් පවසනවා. බලධාරීන් පවසන්නේ තත්ත්වය ඉතා අවාසිදායක වුවත්, බෝඩෝ නගරයේ ජනතාව ඉවත් කිරීමේ සැලසුමක් තවමත් නොමැති බවයි.

Discussion & Feedback