මේ දවස්වල ලන්ඩන් නුවර වීදිවල අමුතුම ආකාරයේ වාහන කිහිපයක් දකින්න ලැබෙනවා. චීනයේ ප්‍රබල තාක්ෂණික සමාගමක් වන බයිදු (Baidu) සහ ලිෆ්ට් (Lyft) සමාගම එකතු වෙලා තමයි ස්වයංක්‍රීයව ධාවනය වන රොබෝ ටැක්සි පරීක්ෂණ ලන්ඩන් නුවර ආරම්භ කරලා තියෙන්නේ. මේ සඳහා ඔවුන් යොදා ගන්නේ බයිදු සමාගමේ විශේෂිත ‘ඇපලෝ ගෝ ආර්.ටී.6’ (Apollo Go RT6) රථ. දැනට මේ පරීක්ෂණ සිදුවෙන්නේ ලන්ඩනයේ බ්‍රෙන්ට් ප්‍රදේශයේ වන අතර, ආරක්ෂාව වෙනුවෙන් රියදුරන් පිරිසක් මේ වාහන තුළ සිටිනවා. 2025 වසරේදී ලිෆ්ට් සමාගම විසින් මිලදී ගත් ‘ෆ්රිනව්’ (Freenow) සේවාව හරහා තමයි අනාගතයේදී මේ රොබෝ ටැක්සි සේවාව මහජනතාවට ලබා දෙන්න ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ.
ලන්ඩන් නුවර මේ වන විට රොබෝ ටැක්සි සේවාවන් සඳහා ලොකු තරඟයක් නිර්මාණය වෙලා තියෙනවා. වේමෝ (Waymo) සහ උබර් (Uber) වැනි සමාගම් පවා මේ වන විටත් ලන්ඩනයේ ස්වයංක්‍රීය රථ පරීක්ෂණ ආරම්භ කරලා ඉවරයි. ලිෆ්ට් සහ ෆ්රිනව් සමාගම් බලාපොරොත්තු වෙන්නේ 2027 වසර වන විට මේ සේවාව සාමාන්‍ය ජනතාවට විවෘත කරන්නයි. ඒ වගේම ඔවුන් කියන විදිහට මේක හයිබ්‍රිඩ් ක්‍රමයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය රියදුරන් පදවන ටැක්සි සහ රොබෝ ටැක්සි එකට වැඩ කරනවා. මේ තාක්ෂණය නිසා වෘත්තීය රියදුරන්ට හානියක් නොවී, ඔවුන්ට සහයෝගයක් ලැබෙන විදිහට වැඩ කටයුතු සිද්ධ කරන බවයි ෆ්රිනව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් සිමර්මන් පවසන්නේ. රජයේ අනුමැතිය ලැබුණු පසු මේ සේවාව ලන්ඩන් වැසියන්ට අලුත්ම අත්දැකීමක් වේවි.

Discussion & Feedback