කොළඹ වරාය නගරය ආශ්රිතව ඉතාමත් රහසිගතව සිදුවෙමින් පැවති නීති විරෝධී මත්පැන් ජාවාරම් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වැටලීමට පියවර ගෙන තිබෙනවා. මේ වැටලීම් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ වරාය නගරයේ සිට මුහුද මැද සාද පැවැත්වීම සඳහා යොදාගත් සුඛෝපභෝගී බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමයි. මෙම බෝට්ටුව මගින් ශ්රී ලාංකිකයන්ට අමතරව ඉන්දීය සහ චීන ජාතිකයන් ද ඉලක්ක කරගෙන රුපියල් 40,000ත් 60,000ත් අතර මුදලකට සාද සංවිධානය කර ඇති අතර, කිසිදු බලපත්රයක් නොමැතිව මත්පැන් ප්රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වුණා.
මීට අමතරව, වරාය නගරය තුළ පවත්වාගෙන ගිය ආපනශාලාවක තිබී බලපත්ර නොමැතිව අලෙවි කිරීමට සූදානම් කර තිබූ විශාල මත්පැන් තොගයක් සහ බියර් පමණක් අලෙවි කිරීමට අවසර තිබියදී වෙනත් මත්පැන් වර්ග තබාගෙන සිටි තවත් ආයතනයක් ද වැටලීමට නිලධාරීන් කටයුතු කළා. මෙම වැටලීම්වලදී රුපියල් 50,000කට වඩා වටිනා රෙමි මාටින් වැනි මිල අධික මත්පැන් බෝතල් රැසක් සොයාගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවැනි නීති විරෝධී ක්රියා නිසා රජයට ලැබිය යුතු බදු ආදායම විශාල ලෙස අහිමි වන බව පවසන සුරාබදු දෙපාර්තමේන්තුව, බලපත්ර නොමැතිව මත්පැන් අලෙවි කරන ස්ථාන පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වරාය නගරය වැනි සංවේදී කලාපයක මෙවැනි නීති විරෝධී ක්රියා සිදුවීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

Discussion & Feedback