ලෝක ප්රසිද්ධ ‘Call Me By Your Name’ සහ ‘Challengers’ චිත්රපටවල අධ්යක්ෂක ලූකා ගුවාඩග්නිනෝට මෙවර වැනීසි ජාත්යන්තර චිත්රපට උළෙලේදී ‘Cartier Glory to the Filmmaker’ සම්මානය පිරිනැමීමට නියමිතයි. සමකාලීන සිනමාවට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් නිර්මාණකරුවන් වෙනුවෙන් පිරිනැමෙන මෙම ගෞරවනීය සම්මානය ඔහුට හිමිවන්නේ 83 වැනි වැනීසි චිත්රපට උළෙලේදීයි. සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම සම්මානය ඔහුට පිරිනැමෙන අතර, ඉන් අනතුරුව ඔහුගේ නවතම වාර්තා චිත්රපටයක් වන ‘Joie de vivre’ ප්රදර්ශනය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.
තමන්ට ලැබුණු මෙම ගෞරවය පිළිබඳව අදහස් දක්වමින් ලූකා පවසා සිටියේ මෙය තමන්ට ලැබුණු විශාල භාග්යයක් බවයි. සිනමාකරුවෙකු ලෙස තමන්ගේ ගමනේදී තමන් ආදර්ශයට ගත් දැවැන්තයන් පිරිසක් අතරට එක්වීමට ලැබීම සැබවින්ම සතුටක් බව ඔහු පවසනවා. වැනීසි චිත්රපට උළෙලේ අධ්යක්ෂ ඇල්බර්ටෝ බාබෙරා පවසන පරිදි, ලූකා යනු ඕනෑම ප්රභේදයක චිත්රපටයක් තමන්ටම ආවේණික වූ ශෛලියකින් නිර්මාණය කිරීමට හැකියාව ඇති සුවිශේෂී අධ්යක්ෂවරයෙක්. භීෂණ, මනෝවිද්යාත්මක ත්රාසජනක සහ ආදර කතා වැනි විවිධ ක්ෂේත්ර ඔස්සේ ඔහු ලෝක සිනමාවට ලබා දී ඇති දායකත්වය අතිමහත්.
ලූකා ගුවාඩග්නිනෝ වැනීසි චිත්රපට උළෙල සමඟ දිගු කලක සිට සම්බන්ධ වී සිටින අතර, ඔහුගේ ‘After the Hunt’, ‘Queer’ සහ ‘Bones and All’ වැනි නිර්මාණ රැසක් මීට පෙර මෙම උළෙලේදී ප්රදර්ශනය කර තිබෙනවා. ඉතාලි සිනමාවේ අනන්යතාවය ලෝකය පුරා රැගෙන යමින්, සිනමාවේ භාෂාව අලුත් කිරීමට ඔහු සමත් වී තිබීම සැබවින්ම අගය කළ යුතු කරුණක්.

Discussion & Feedback