ජපානයේ සුප්‍රසිද්ධ ෆුජි කන්ද නගින සංචාරකයින් සඳහා ජපාන බලධාරීන් විසින් අලුත් නීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍යයෙන් ෆුජි කන්ද නැගීම සඳහා නිල කාලසීමාව ජූලි මාසයේ සිට සැප්තැම්බර් මුල දක්වා පමණයි. නමුත් මේ කාලසීමාවෙන් පිටත අනවසරයෙන් කන්ද නගින අය වැඩිවීමත්, ඔවුන් අතරමං වීමත් නිසා පසුගිය කාලයේ විශාල ගැටලු මතු වුණා. ඒ නිසා ලබන වසරේ සිට කඳු නැගීමේ නිල කාලසීමාවෙන් පිටතදී හෙලිකොප්ටර් මගින් ගලවා ගැනීමේ මෙහෙයුමක් අවශ්‍ය වුවහොත්, ඒ සඳහා විශාල මුදලක් ගෙවීමට එම කඳු නගින්නන්ට සිදුවන බව යමනාෂි ප්‍රාන්ත බලධාරීන් නිවේදනය කරනවා.
මෙම තීරණය ගෙන තිබෙන්නේ අනිසි ලෙස සහ කිසිදු සූදානමකින් තොරව කඳු නගින පිරිස් අධෛර්යමත් කිරීම සඳහායි. මීට අමතරව, කඳු නැගීමට බලාපොරොත්තු වන අය තම ගමන් සැලැස්ම පිළිබඳව කල්තියා බලධාරීන්ට දැනුම් දීම අනිවාර්ය කර තිබෙනවා. ෆුජි කන්දේ කාලගුණික තත්ත්වයන් සහ මාර්ග තත්ත්වයන් නිල කාලසීමාවෙන් පිටත ඉතා දරුණු විය හැකි අතර, බොහෝ කඳු නැගීමේ නවාතැන් සහ වැසිකිළි පහසුකම් පවා එම කාලයේදී වසා දමා තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය අවදානම් ගැනීමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ෂිසුඕකා ප්‍රාන්ත බලධාරීන් ද පවසන්නේ නිසි ලියාපදිංචියකින් තොරව කඳු නගින අයට එරෙහිව දැඩි දඩ මුදල් පැනවීමට කටයුතු කරන බවයි. වසරකට ලක්ෂ දෙකකට අධික පිරිසක් ෆුජි කන්ද තරණය කිරීමට උත්සාහ කරන අතර, ආරක්ෂිතව කඳු නැගීම සඳහා නිල කාලසීමාව තුළ පමණක් ගමන් කරන ලෙස බලධාරීන් නැවත නැවතත් සිහිපත් කරනවා.

Discussion & Feedback