පේරු රාජ්‍යයේ සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ අති දැවැන්තම සහ අභිලාෂකාමී නිර්මාණයක් ලෙස සැලකෙන ‘ලොස් ප්රින්සිපියන්ට්ස්’ (Los Principiantes) ටෙලි නාට්‍ය මාලාවේ රූගත කිරීම් මේ දිනවල පේරු රාජ්‍යයේ ලීමා නුවරදී ඉතා උද්යෝගිමත් ලෙස සිදුවෙනවා. 1980 දශකයේ ලීමා නුවර පසුබිම් කරගෙන නිර්මාණය වන මෙම කතා මාලාව, සැබෑ සිදුවීම් පාදක කරගනිමින් නීති විද්‍යාලයකින් බිහිවන තරුණ කණ්ඩායමක් දේශපාලනය, අධ්‍යාපනය සහ සංවිධානාත්මක අපරාධ ලෝකය තුළ බලය අල්ලා ගැනීමට දරන උත්සාහය වටා ගෙතී තිබෙනවා. බලය සහ අභිලාෂය හමුවේ තරුණයන් කෙතරම් භයානක පුද්ගලයන් බවට පත්විය හැකිද යන්න මෙයින් මනාව නිරූපණය කරනවා.
මෙම ව්‍යාපෘතිය කොටස් අටකින් යුත් ටෙලි නාට්‍ය මාලාවක් ලෙස මෙන්ම චිත්‍රපටයක් ලෙසත් එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහි චිත්‍රපට අනුවාදය 2027 ජූලි 28 වන දිනට යෙදෙන පේරු නිදහස් දිනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක ඩැනියෙල් වේගා විසින් මෙහෙයවනු ලබන මෙම නිර්මාණය සඳහා ලතින් ඇමරිකානු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සහ නවක රංගන ශිල්පීන් පිරිසක් දායක වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක දැවැන්ත වියදමකින් නිපදවෙන මෙම නිර්මාණය, පේරු සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. දැනටමත් මෙම කතා මාලාවේ දෙවන කොටස සඳහා වන පිටපත ලියා අවසන් බවත් නිෂ්පාදකවරුන් පවසනවා.

Discussion & Feedback