ප්රසිද්ධ ගායිකා ලෝඩ් (Lorde) Spotify ආයතනය විසින් හඳුන්වා දී තිබෙන නවතම ‘About the Song’ නමැති AI විශේෂාංගය සම්බන්ධයෙන් සිය දැඩි අප්රසාදය පළ කර තිබෙනවා. මේ විශේෂාංගය මගින් ගීතයක් වාදනය වන අතරතුර එම ගීතය පිළිබඳ විස්තර අන්තර්ජාලයෙන් සොයා AI තාක්ෂණය හරහා ශ්රාවකයාට ලබා දෙනවා. නමුත් ලෝඩ් පවසන්නේ තමන්ගේ ගීතයකට අදාළව වැරදි තොරතුරු එහි සඳහන් වී ඇති බවයි. විශේෂයෙන්ම ඇයගේ ‘Current Affairs’ ගීතය සම්බන්ධයෙන් වැරදි විස්තරයක් එහි ඇතුළත් වී තිබීම ඇයව දැඩි කලකිරීමට පත් කර තිබෙනවා.
ඇය පවසන පරිදි, ගීතයක අර්ථය කෘත්රිම බුද්ධියක් මගින් තීරණය කර ශ්රාවකයා මත පැටවීම මගින් රසිකයන්ට එම ගීතය තමන්ට අවශ්ය පරිදි අර්ථකථනය කර ගැනීමට ඇති නිදහස සීමා වෙනවා. මේ නිසා කලාකරුවන්ට තමන්ගේ නිර්මාණ සඳහා මෙම AI පහසුකම අවශ්යද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බව ඇය අවධාරණය කරනවා. ඇයගේ මෙම විරෝධතාවයෙන් පසුව Spotify ආයතනය අදාළ වැරදි තොරතුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Spotify පවසන්නේ මෙම විශේෂාංගය තවමත් අත්හදා බැලීමේ මට්ටමේ (beta) පවතින බවයි. රසිකයන්ට ගීතවල පසුබිම් කතාව දැනගැනීමට ඇති උනන්දුව නිසා මෙය නිර්මාණය කළ බවත්, වැරදි තොරතුරක් වාර්තා වූ වහාම එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඔවුන් ප්රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, තාක්ෂණය සහ කලාකරුවන්ගේ නිර්මාණාත්මක නිදහස අතර පවතින මෙම ගැටුම මේ වන විට සංගීත ලෝකයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback