ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී හරිම පුදුම හිතෙන සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. පොලිසිය විසින් සිදුකරපු විශේෂ මෙහෙයුමකදී ජංගම දුරකථනයක හැඩයට හදපු මාරාන්තික ගිනි අවි දෙකක් හොයාගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ අවි දෙක නිකන් බැලූ බැල්මට සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකක් වගේ පෙනුනට, ඇත්තටම මේවා පාවිච්චි කරලා වෙඩි තියන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
අගෝස්තු දෙවැනිදා සවස ක්වීන්ස්ලන්ඩ් පොලිසියේ විශේෂ කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා ඩිසෙප්ෂන් බේ ප්‍රදේශයේ නිවසක් වටලලා තමයි මේ වැටලීම සිදු කළේ. මේ වගේ භයානක උපකරණ තමන් ළඟ තබා ගැනීම සහ ඒවා සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ පුද්ගලයින් හතර දෙනාට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. මේ ගැන දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිසිය අගෝස්තු 12 වැනිදා මේ පිළිබඳ තොරතුරු මාධ්‍යයට අනාවරණය කළා.
දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු කටයුතු අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. ඒ නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එල්ල වෙලා තියෙන චෝදනා තවමත් ඔප්පු වෙලා නැහැ. කොහොම වුණත්, ජංගම දුරකථනයක් වගේ පෙනෙන මෙවැනි අවි ආයුධ සමාජයට කොයිතරම් තර්ජනයක්ද කියන එක ගැන මේ වෙද්දී ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback