පසුගිය දිනක චීනයේ ෂිචැන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශයට ගමන් ඇරඹූ ‘ලෝන්ග් මාර්ච්-3B’ රොකට්ටුවක් අහසේදී අකුණු සැරකට ලක්වීමේ පුවතක් ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. ගුවන්ගත වී තත්පර 30ක් වැනි කෙටි කාලයකදී මෙම රොකට්ටුව මතට අකුණක් පතිත වූ අතර, එය එම ස්ථානයේ සිටි පිරිසට දැකගන්න ලැබුණේ ඉතාමත් විශ්මිත දසුනක් විදිහටයි. කෙසේ වෙතත්, චීන අභ්‍යවකාශ ආයතනය පවසන විදිහට, මෙම අනපේක්ෂිත සිදුවීමෙන් රොකට්ටුවේ ගමනට කිසිදු බාධාවක් වෙලා නැහැ. එය නියමිත පරිදි තමන්ගේ ඉලක්කය වූ කක්ෂයට චන්ද්‍රිකාව සාර්ථකව රැගෙන ගොස් තියෙනවා.
අභ්‍යවකාශ ඉතිහාසය දෙස බලද්දී මෙවැනි සිදුවීම් අලුත් දෙයක් නෙවෙයි. මීට පෙර ඇපලෝ 12 මෙහෙයුමේදී සැටර්න් V රොකට්ටුවටත්, රුසියාවේ සෝයුස් රොකට්ටුවටත් මෙවැනි අකුණු සැර වැදී තිබෙනවා. නමුත් 1987 වසරේදී ඇට්ලස්/සෙන්ටෝර් රොකට්ටුවකට අකුණු වැදීම නිසා එය විනාශ වී ගිය අවාසනාවන්ත සිදුවීමක්ද වාර්තා වුණා. ඒ නිසාම නාසා ආයතනය පසුව අකුණු සැර වැදීමේ අවදානම අවම කරගන්න ඉතා දැඩි කාලගුණික නීති රීති පද්ධතියක් හඳුන්වා දුන්නා. කොහොම වුණත්, මේ වතාවේ චීන රොකට්ටුව කිසිදු හානියකින් තොරව සිය මෙහෙයුම සාර්ථක කර ගැනීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වෙලා තියෙනවා.

Discussion & Feedback