ලෝක ප්රසිද්ධ නළු නිළියන් වන ලීව් ෂ්රයිබර්, සාසි බීට්ස් සහ ස්ටීවන් ග්රැහැම් රංගනයෙන් දායක වන අලුත්ම ඇපල් ටීවී (Apple TV) කතා මාලාව ‘Nocturne’ එළඹෙන ඔක්තෝබර් 30 වැනිදා සිට විකාශය වීමට නියමිතයි. මීට පෙර ‘Lazarus’ ලෙස නම් කර තිබූ මෙම කතා මාලාව, ලාස් කෙප්ලර්ගේ ජනප්රිය නවකතා ඇසුරින් නිර්මාණය කර තිබෙනවා. කොටස් 10කින් සමන්විත මෙම අභිරහස් කතා මාලාව ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු ඇති බවටයි මේ වන විටත් කතාබහක් ඇති වී තිබෙන්නේ.
මෙම කතාව ගෙතෙන්නේ හිටපු සොල්දාදුවෙක් සහ රහස් පරීක්ෂකයෙක් වන ජෝනා ලින් (ලීව් ෂ්රයිබර්) වටායි. ෆිලඩෙල්පියාවේ කාර්යබහුල ජීවිතයෙන් මිදී නිස්කලංක ජීවිතයක් සොයා යන ඔහුට, කුරිරු අනුක්රමික ඝාතකයෙකු වන ජුරෙක් වෝල්ටර් (ස්ටීවන් ග්රැහැම්) නිසා තම පවුල සහ ප්රදේශයම අනතුරේ වැටෙන ආකාරය මෙහිදී දැකගන්න පුළුවන්. ජෝනා තම දියණිය වැනි එෆ්.බී.අයි. නිලධාරිනිය වන සාගා බෝවර්ව (සාසි බීට්ස්) මෙම ඝාතකයාට එරෙහිව යොමු කරන්නේ කෙතරම් දුරකටද යන්න මෙම කතා මාලාවේ ප්රධානම කුතුහලය දනවන කරුණක් වෙනවා.
මෙම නිර්මාණය සඳහා බිල් කැම්ප්, රෝරි කල්කින් සහ ක්රිස්සි මෙට්ස් වැනි දක්ෂ නළු නිළියන් රැසක් දායක වන අතර, ටිම් වැන් පැටන් මෙහි අධ්යක්ෂණයෙන් එක් වෙනවා. අභිරහස් සහ ත්රාසජනක කතා රසිකයන්ට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතා මාලාවක් ලෙස ‘Nocturne’ හඳුන්වා දෙන්න පුළුවන්. ඔක්තෝබර් 30 වැනිදා සිට ඇපල් ටීවී හරහා ඔබට මෙය නැරඹීමේ අවස්ථාව උදා වෙනවා.

Discussion & Feedback