ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබාගත්තා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම පත්වීම හෙට (අගෝස්තු 01) සිට බලාත්මක වන අතර, වත්මන් යුද හමුදාපති ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා විශ්‍රාම යාමත් සමඟ මෙම පුරප්පාඩුව පිරවීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඒ මහතා, මේ සමඟම ලුතිනන් ජෙනරාල් නිලයට උසස් වීමත් විශේෂත්වයක්.
මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ලුතිනන් ජෙනරාල් ප්‍රේමරත්න මහතා 1990 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූයේ නිලධාරි ශිෂ්‍යයෙකු ලෙසයි. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලබා 1992 වසරේදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස කොමිෂන් ලත් ඔහු, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව තම සේවය ආරම්භ කළා. වසර 36ක දීර්ඝ හමුදා සේවා කාලයක් තුළ ඔහු දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති අතර, ඇමරිකාවේ කැලිෆෝනියා නාවික පශ්චාත් උපාධි ආයතනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ද හිමිකරගෙන තිබෙනවා.
මානුෂීය මෙහෙයුම් සමයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් ඔහු දෙවරක් රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති අතර, යුද හමුදාවට සිදුකළ අගනා සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද හිමිකරගෙන තියෙනවා. මෙවැනි අත්දැකීම් බහුල නිලධාරියෙකු යුද හමුදාපති ධුරයට පත්වීම රටේ ආරක්ෂක අංශවල ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback