බුලත්කොහුපිටිය, දෙදුගල ප්‍රදේශයේ නිවසකට අහඹු ලෙස ඇතුළු වූ දිවි පැටවෙක් කිසිදු හානියක් නොවී බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වෙලා තියෙනවා. පසුගිය අඟහරුවාදා (15) මේ සතා නිවස තුළ සිටින බවට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්, පශු වෛද්‍ය උපදෙස් මත ඉතා ප්‍රවේශමෙන් මෙම සතාව ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා. මුලින්ම ඔවුන් උත්සාහ කළේ මේ පැටියාව නැවතත් මව වෙත මුදාහරින්න වුණත්, ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ.
පසුව, වැඩිදුර ප්‍රතිකාර සහ රැකවරණය සඳහා මෙම දිවි පැටියාව බදාදා (16) රන්දෙණිගල වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. මේ වන විටත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන අතර, සතා යථා තත්ත්වයට පත් වූ පසු නැවතත් සුදුසු වනගත පරිසරයකට මුදාහැරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. දිවියන් කියන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න, නීතියෙන් දැඩිව ආරක්ෂා කරලා තියෙන සත්ත්ව විශේෂයක්.
මේ වගේ අවස්ථාවකදී මහජනතාව කලබල නොවී, හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වෙලා ළඟම තියෙන වනජීවී කාර්යාලයට හෝ 1992 කියන වනජීවී හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන්න කියලා බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සතෙක් උගුලක පැටලිලා හරි, මේ වගේ නිවසකට ඇතුළු වෙලා හරි ඉන්නවා දැක්කොත් තනිවම ක්‍රියා කරන්න යන්නේ නැතුව වගකිවයුතු අංශ දැනුවත් කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.

Discussion & Feedback