ලෝක ප්රසිද්ධ තරු රැසකගේ ඇඳුම් නිර්මාණය කරමින් ‘සිකුවින්ස්වල සුල්තාන්වරයා’ ලෙස විරුදාවලි ලත් ප්රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී බොබ් මැකී වයස අවුරුදු 87දී අභාවප්රාප්ත වුණා. ෂෙයාර්, ටීනා ටර්නර්, ඩොලී පාර්ටන් සහ එල්ටන් ජෝන් වැනි දැවැන්තයන් වෙනුවෙන් ඔහු නිර්මාණය කළ ඇඳුම් ලොව පුරාම කතාබහට ලක්වුණා. ටෝනි සම්මානයක් සහ එමි සම්මාන නවයක් දිනා ගනිමින් ඔහු හොලිවුඩ් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබුවා. ඔහුගේ නිල ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මේ කණගාටුදායක පුවත තහවුරු කර තිබුණේ, ඔහු තමන්ගේ ජීවිත කාලය පුරාම තමන් ආදරය කළ නිර්මාණකරණය වෙනුවෙන් කැපවී ජීවත් වූ බව පවසමින්.
විශේෂයෙන්ම 1986 ඔස්කාර් උළෙලේදී ෂෙයාර් පැළඳි සුප්රසිද්ධ ‘මොහොක්’ ඇඳුම නිර්මාණය කළේ මැකී විසින්. එය ඇයගේ ‘පලිගැනීමේ ඇඳුම’ ලෙසයි ඉතිහාසයට එක්වුණේ. එල්ටන් ජෝන්ගේ අයිකනික් ඩොජර්ස් ඇඳුම වගේම මෑත කාලයේදී මයිලි සයිරස් සහ සබ්රිනා කාපෙන්ටර් වැනි තරු වෙනුවෙන් පවා ඔහු නිර්මාණ සිදු කළා. මර්ලින් මොන්රෝ ජෝන් එෆ්. කෙනඩි වෙනුවෙන් ගීතයක් ගායනා කරන විට ඇය ඇඳ සිටි ඇඳුමේ මූලික සැලසුම් ශිල්පියා වුණෙත් ඔහුයි. පින්ක් වැනි ගායිකාවන් පවා පවසා තිබුණේ, ඔහු ඇඳුම් නිර්මාණකරණයේ සැබෑ දක්ෂයෙක් වගේම ඉතාම විනෝදකාමී පුද්ගලයෙක් බවයි. හොලිවුඩයේ තරු ලෝකය අලංකාර කළ මේ මහා කලාකරුවාගේ වියෝව ලෝක විලාසිතා ක්ෂේත්රයට විශාල පාඩුවක්.

Discussion & Feedback