ලෙබනන පාර්ලිමේන්තුව විසින් එරට ක්‍රියාත්මක වූ මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ඓතිහාසික තීරණයක් අරගෙන තියෙනවා. මේ තීරණයත් එක්ක මධ්‍යම පෙරදිග කලාපයේ මරණ දඬුවම අහෝසි කළ පළමු රට බවට ලෙබනනය පත්වීම විශේෂත්වයක්. පසුගිය අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු සැසියේදී බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය මේ පනතට ලැබුණා. කෙසේ වෙතත්, හිස්බුල්ලා පක්ෂය මේ තීරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. දැන් මේ පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ජනාධිපති ජෝසප් අවුන්ගේ අත්සන සඳහා යොමු කිරීමට නියමිතයි.
ලෙබනනය තුළ 2004 වසරේ සිට මේ දක්වා කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කරලා නැහැ. අලුත් නීතියට අනුව මරණ දඬුවම වෙනුවට දැඩි ශ්‍රමය සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට නියමිතයි. වසර ගණනාවක් තිස්සේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිඥවරුන් දියත් කළ අරගලයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ. “අපිට අපරාධයක් මගින් තවත් අපරාධයක් විසඳන්න බැහැ” කියමින් ඔවුන් මේ වෙනුවෙන් දිගු කලක් හඬ නැගුවා. දැනට මරණ දඬුවම නියම වී සිරගතව සිටින 78කට වැඩි පිරිසකට මේ නව නීතියේ වාසිය ලැබෙනු ඇති බවයි වාර්තා වෙන්නේ. කලාපයේ අනෙක් රටවල් මරණ දඬුවම තවදුරටත් ක්‍රියාත්මක කරන පසුබිමක, ලෙබනනය ගත් මේ තීරණය ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback