ලොව පුරා අතිශය ජනප්රිය වූ ‘Party Rock Anthem’ ගීතය හරහා ලෝක ප්රසිද්ධියට පත් වූ ලෝරන් බෙනට් මියගොස් තිබෙනවා. ඇය මිය යන විට 36 හැවිරිදි වියේ පසු වූ අතර, ඇගේ මරණයට නිශ්චිත හේතුවක් හෝ දිනයක් මෙතෙක් ප්රකාශයට පත් කර නැහැ. කෙසේ වෙතත්, ඇගේ හිටපු කණ්ඩායම් සාමාජිකාවක වන ඒරියා ක්රෙසෙන්ඩෝ සමාජ මාධ්ය ඔස්සේ සඳහන් කර තිබුණේ ඇය සිය ජුනි මස උපන්දිනයට පෙර මෙලොවින් සමුගෙන ඇති බවයි. ඇගේ අභාවය පිළිබඳ පුවත G.R.L. සංගීත කණ්ඩායම විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
එංගලන්තයේ උපන් ලෝරන්, 2011 වසරේදී LMFAO සමඟ එක්ව ගායනා කළ ‘Party Rock Anthem’ ගීතය හරහා සිය සංගීත දිවියේ ඉහළම තැනකට පැමිණියා. එම ගීතය ලොව රටවල් 20ක ප්රස්ථාරවල අංක එකේ රැඳී සිටිමින් විශාල ජනප්රියත්වයක් ලබා ගත්තා. ඇය සිය වෘත්තීය ජීවිතය තුළ ‘Paradiso Girls’ සහ ‘G.R.L.’ වැනි සංගීත කණ්ඩායම් සමඟ කටයුතු කළ අතර, පිට්බුල්, විල්.අයි.ඇම් සහ සීලෝ ග්රීන් වැනි ප්රසිද්ධ කලාකරුවන් සමඟද ගීත ගායනා කර තිබෙනවා. 2017 වසරේදී ඇය සිය සහෝදරයා සමඟ එක්ව කන්ට්රි සංගීත කණ්ඩායමක්ද ආරම්භ කළා.
ඇගේ අභාවය පිළිබඳ පුවත ඇසූ රසිකයන් මෙන්ම ඇය සමඟ වැඩ කළ සෙසු කලාකරුවන්ද දැඩි කම්පනයට පත්ව සිටිනවා. G.R.L. කණ්ඩායම සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, ඇය ඔවුන්ගේ ජීවිතවලට කොතරම් සමීපද යන්න වචනයෙන් විස්තර කළ නොහැකි බවත්, ඇගේ ආදරය සහ සිනහව සැමදා සිහිපත් කරන බවත්ය. ඇය අවසන් වරට සමාජ මාධ්යයට එක්ව තිබුණේ පසුගිය පෙබරවාරි 22 වැනිදා වන අතර, එහිදී ඇය ගීතයක් ගායනා කරන වීඩියෝවක් පළ කර තිබුණා.

Discussion & Feedback