ප්රකට නිරූපිකාවක වූ ඇනා නිකොල් ස්මිත්ගේ මරණයෙන් වසර විස්සකට ආසන්න කාලයකට පසු ඇයගේ වෛද්යවරයා වූ සන්දීප් කපූර්ගේ පොතක් ඇසුරින් නිර්මාණය වූ ‘Trust Me, I’m a Doctor’ චිත්රපටය මේ වන විට ලොකු ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා. ඇනා නිකොල්ගේ දියණියගේ පියා වන ලැරී බර්ක්හෙඩ් මේ චිත්රපටයට තමන්ගේ දැඩි විරෝධය පළ කරමින් පවසන්නේ, තමන් හෝ තම දියණිය මේ නිෂ්පාදනයට කිසිසේත්ම සම්බන්ධ නැති බවයි. වෛද්යවරයෙක් ලෙස ඇනාගේ විශ්වාසය දිනාගෙන සිටි අයෙකු ඇයගේ පෞද්ගලික ජීවිතය මෙලෙස චිත්රපටයකට යොදා ගැනීම තමන්ට සහ තම දියණියට සිදුවන විශාල මානසික පීඩනයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
ලැරී බර්ක්හෙඩ් මේ සම්බන්ධයෙන් කැලිෆෝනියා වෛද්ය මණ්ඩලයට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා. වෛද්ය කපූර් තවමත් මෙවැනි දේ හරහා ප්රසිද්ධිය සොයා යාම තමන්ට පිළිගත නොහැකි බවයි ඔහු පවසන්නේ. චිත්රපටයේ ඇනා නිකොල්ගේ චරිතයට පෙනී සිටින නිළිය සම්බන්ධයෙන් ද අදහස් දක්වන ලැරී, ඇය දක්ෂ නිළියක් වුවත් ඇනාගේ සැබෑ පෞරුෂය හෝ ස්වභාවය මනාව නිරූපණය කිරීමට කිසිවෙකුටත් මෙතෙක් හැකි වී නැති බව පවසනවා. 2007 වසරේදී ඇනා නිකොල් ස්මිත් මියගිය පසු ඇයට බෙහෙත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්ය කපූර්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වුණත්, පසුව ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුණා. කෙසේ වෙතත්, මේ චිත්රපටය ඔක්තෝබර් 16 වැනිදා තිරගත වීමට නියමිතව තිබියදී මෙවැනි විරෝධතා මතු වීම විශේෂත්වයක්.

Discussion & Feedback