ඇමරිකාවේ ඇට්ලන්ටා නුවර සිට ඩලස් බලා පියාසර කරමින් තිබූ ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක හදිසියේම මගියෙකු සතු ලැප්ටොප් පරිගණකයක් ගිනි ගැනීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. ගුවන් යානය ගොඩබෑමට ආසන්නව තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර, ගුවන් නියමුවා වහාම පාලක මැදිරියට දැනුම් දී තිබෙන්නේ යානයේ පිටුපස කොටසේ ගින්නක් හටගෙන ඇති බවයි. ගුවන් සේවිකාවන් වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට උත්සාහ කළත්, මේ හේතුවෙන් මගීන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුවුණා.
යානය ඩලස් ෆෝට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබෑමෙන් පසු වෛද්‍ය කණ්ඩායම් පැමිණ තුවාල ලැබූ මගීන්ට ප්‍රතිකාර ලබා දුන්නා. ලිතියම් බැටරි අධික ලෙස රත් වීම හෝ හානි වීම නිසා මෙවැනි ගිනි ගැනීම් සිදුවිය හැකි බව ගුවන් සේවා බලධාරීන් නිතරම අනතුරු අඟවනවා. මේ වසරේ පමණක් ලිතියම් බැටරි ආශ්රිත ගිනි ගැනීම් සිදුවීම් 58ක් වාර්තා වී තිබෙනවා. ඒ නිසාම බලධාරීන් පවසන්නේ ලැප්ටොප් සහ පවර් බෑන්ක් වැනි දේවල් ගමන් මලු තුළ නොදමා අතේ ගෙන යන බෑග්වල පමණක් තබා ගන්නා ලෙසයි.
පසුගිය කාලයේදීත් මෙවැනි පවර් බෑන්ක් සහ ලැප්ටොප් බැටරි නිසා ගුවන් යානාවලට බාධා ඇති වූ අවස්ථා ගණනාවක් වාර්තා වුණා. විශේෂයෙන්ම පවර් බෑන්ක් සහ ඉලෙක්ට්‍රොනික උපාංගවලින් හටගන්නා ගිනි ගැනීම් ලෝකයේ ගුවන් සේවා ක්ෂේත්රයට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසා මගීන් තමන්ගේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයේදී සහ ගුවන් ගමන්වලදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බව බලධාරීන් නැවත නැවතත් මතක් කර දෙනවා.

Discussion & Feedback