කොලොම්බියාවේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි පොලිකාර්පා ප්‍රදේශයේ නීති විරෝධී රන් පතලක් හදිසියේ කඩා වැටීමෙන් කම්කරුවන් 13 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ අනතුරින් තවත් හත් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. බදාදා පස්වරුවේ සිදුවූ මෙම අනතුරේදී විශාල පිපිරුම් හඬක් වැනි ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. කෙසේ වෙතත්, බලධාරීන් පෙන්වා දෙන්නේ පතල් කැණීමේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි. ගලවා ගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මළ සිරුරු සොයා ගැනීමට කටයුතු කළා.
මෙම පතලේ වැඩ කරමින් සිටි පිරිස අතරින් වැඩි දෙනෙක් ක්විලාසින්ගා (Quillacinga) නමැති ආදිවාසී ප්‍රජාවට අයත් අයයි. මියගිය අය අතර එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකුත් සිටින බව වාර්තා වෙනවා. කොලොම්බියාවේ මෙවැනි නීති විරෝධී පතල්වල වැඩ කිරීම සාමාන්‍ය දෙයක් වුණත්, ඒවායේ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැති නිසා මෙවැනි මාරාන්තික අනතුරු නිතරම වාර්තා වෙනවා. දරිද්‍රතාවය නිසා ජීවිකාව ගැටගසා ගැනීමට බොහෝ පවුල් මෙවැනි අනතුරුදායක පතල්වල වැඩ කිරීමට පෙළඹී සිටිනවා. රටේ ලක්ෂ ගණනක් ජනතාව මෙවැනි කුඩා පරිමාණයේ පතල් කැණීම්වල නිරත වන අතර, ඔවුන්ගේ ජීවිත නිරන්තරයෙන්ම අවදානමට ලක්ව තිබෙනවා.

Discussion & Feedback