බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු තමන් ගෙවූ බදු මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධ කරමින් ඉතිහාසයේ පළමු වරට මෙවැනි පියවරක් ගත් රජු බවට පත්වෙලා තියෙනවා. නවතම වාර්තාවලට අනුව, 2024-25 වසර සඳහා රජු පවුම් මිලියන 12.9ක බදු මුදලක් ගෙවා ඇති අතර, වේල්සයේ කුමරු වන විලියම් කුමරු එම කාලය තුළ පවුම් මිලියන 7.76ක බදු මුදලක් ගෙවා තිබෙනවා. රාජකීය පවුලේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව බකිංහැම් මාලිගය පවසනවා. මේ වන විට චාල්ස් රජු සහ විලියම් කුමරු දෙදෙනාම එක්ව බ්‍රිතාන්‍ය රජයට ගෙවා ඇති සමස්ත බදු මුදල පවුම් මිලියන 50 ඉක්මවා තිබීම විශේෂත්වයක්.
මෙම බදු මුදල් ගෙවනු ලබන්නේ රජුට අයත් ‘ඩචි ඔෆ් ලැන්කැස්ටර්’ සහ විලියම් කුමරුට අයත් ‘ඩචි ඔෆ් කෝන්වෝල්’ වැනි පෞද්ගලික වතු සහ ආයෝජනවලින් ලැබෙන ආදායම් මතයි. මීට අමතරව, ඉදිරි වසර කිහිපය තුළ රාජකීය පවුලේ වාර්ෂික රාජ්‍ය අරමුදල වන ‘සොවරින් ග්‍රාන්ට්’ පවුම් මිලියන 100ක මට්ටමට ළඟා වනු ඇති බවත් වාර්තා වෙනවා. චාල්ස් රජු සහ කැමිලා රැජින තවදුරටත් ක්ලැරන්ස් හවුස් මන්දිරයේම පදිංචිව සිටීමට තීරණය කර ඇති අතර, බකිංහැම් මාලිගයට මාරුවීමක් සිදු නොවන බවත් සඳහන් වෙනවා. රාජකීය පවුලේ මෙම විවෘතභාවය පිළිබඳව මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනවා.

Discussion & Feedback