ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටින ක්‍රිස්ටා පයික්ගේ ජීවිතයේ අවසන් පැය කිහිපය ගෙවී යමින් තිබෙනවා. ඇයව සැප්තැම්බර් 30 වන දින මාරාන්තික එන්නතක් ලබා දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වසර 31කට පෙර, එනම් ඇයට වයස අවුරුදු 18දී, ඇය සහ ඇගේ පෙම්වතා එක්ව කොලීන් ස්ලෙමර් නම් තරුණියව ඉතාමත් අමානුෂික ලෙස වධ දී ඝාතනය කළා. මේ සිදුවීම එකල මුළු ලෝකයේම අවධානය දිනාගත් භයානක අපරාධයක් වුණා. මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන පයික්, තමන්ගේ මරණය සිදුවන මොහොතේ කිසිදු හිතවතෙකු එහි නොසිටින ලෙස ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, ඇයගේ නීතිඥ කණ්ඩායම තවමත් උත්සාහ කරන්නේ ඇයගේ ජීවිතය බේරා ගැනීමටයි. ඔවුන් පවසන්නේ පයික්ගේ ළමා කාලය ඉතාමත් අවාසනාවන්ත එකක් බවත්, ඇය ලිංගික අපයෝජනයන්ට සහ නොසලකා හැරීම්වලට ලක්වූ අයෙක් බවත්ය. ඇයගේ මානසික තත්ත්වය සහ ළමා කාලයේ සිදු වූ අතවර පිළිබඳ කරුණු එකල අධිකරණයේදී නිසි ලෙස ඉදිරිපත් නොවූ බව නීතිඥවරුන් පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පවා මෙම මරණ දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියත්, වින්දිත කොලීන්ගේ මව පවසන්නේ තම දියණියට සාධාරණයක් ඉටු වීමට නම් මෙම දඬුවම ක්‍රියාත්මක විය යුතු බවයි. ටෙනසි ප්‍රාන්තයේ වසර 200කට පසු කාන්තාවකට මරණ දඬුවම ලබා දෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Discussion & Feedback