ඉරානයේ මියගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් සහ කර්බලා නගරවල විශාල ජනකායක් එක්වෙලා ඉන්නවා. දේහය රැගත් රථ පෙළපාලිය නජාෆ් නුවර පිහිටි ඉමාම් අලි සිද්ධස්ථානය වෙත ළඟා වූ අවස්ථාවේදී, එහි සිටි දහස් ගණන් ජනතාව දේහය ස්පර්ශ කිරීමට දැඩි උත්සාහයක නිරත වුණා. මේ අවස්ථාවේදී ඇමරිකාවට සහ ඊශ්රායලයට එරෙහිව දැඩි විරෝධතා පාඨ කියැවෙන හඬවල් ඇසෙන්නට ලැබුණු අතර, මෙය ඇමරිකානු බලපෑම්වලට අභියෝග කළ නායකයාට දක්වන අවසන් ගෞරවය බවයි බොහෝ දෙනා පවසන්නේ.
ඉන් අනතුරුව දේහය කර්බලා නගරයේ පිහිටි ඉමාම් හුසේන් සිද්ධස්ථානය වෙත රැගෙන ගියා. ඉරාන ජනාධිපති මසුද් පෙෂෙෂ්කියාන් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. කමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තාබා කමේනි තවමත් මහජනතාව ඉදිරියේ පෙනී සිට නැහැ. ඔහු පසුගිය ප්රහාරයකින් බරපතළ තුවාල ලබා සිටින බවයි වාර්තා වෙන්නේ. මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර, දෙරට අතර ඇති කරගෙන තිබූ මූලික එකඟතා ගිවිසුම බිඳ වැටී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබෙනවා. කමේනිගේ අවසන් කටයුතු බ්රහස්පතින්දා ඉරානයේ මෂ්හාඩ් නුවරදී සිදු කිරීමට නියමිතයි.

Discussion & Feedback