කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි ශ්‍රී ලාංකික ආයෝජනයක් වන ‘හෙලා ඉන්ටිමේට්ස්’ (Hela Intimates) ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයින් 3000කට අධික පිරිසක් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් කෙන්යානු සෙනෙට් සභික එඩ්වින් සිෆුනා මහතා සෙනෙට් සභාවේදී විශේෂ ප්‍රශ්න කිරීමක් කරමින් කියා සිටියේ, එම සේවකයින්ගේ වැටුප් ගෙවීම් ප්‍රමාද වීම, අර්ථසාධක අරමුදල් ඇතුළු නීත්‍යානුකූල දීමනා නිසි ලෙස බැර නොකිරීම සහ සේවයෙන් ඉවත් වන විට ලැබිය යුතු හිමිකම් නොගෙවීම වැනි බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවයි. මේ තත්ත්වය නිසා සේවකයින්ගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, සැපයුම්කරුවන්ට පවා විශාල මුදලක් ගෙවීමට ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ‘හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස්’ සමාගම මේ වන විට මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය සහ සමාගම වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම තත්ත්වය තවත් උග්‍ර වී තිබෙනවා. කෙන්යානු සෙනෙට් සභාවේ කම්කරු හා සමාජ සුබසාධන කමිටුව හරහා මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ආයෝජකයින් මෙවැනි රටකින් ඉවත් වීමේදී සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති නීතිමය ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බලන ලෙසත් සිෆුනා මහතා ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේදී නම් හෙලා සමාගමේ සේවකයින් පිරිසක් වෙනත් ආයතනයකට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබුණත්, කෙන්යාවේ සේවකයින්ගේ අනාගතය පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

Discussion & Feedback