ජනප්රිය ගායිකා කෙලී ක්ලාක්සන් තමන් වසර හතක් පුරා ඉදිරිපත් කළ ‘ද කෙලී ක්ලාක්සන් ෂෝ’ වැඩසටහනට ඉතා සංවේදී ලෙස සමුදුන්නා. මේ අවසාන වැඩසටහන ඇය තමන්ගේ දරුවන් සහ රසිකයන් සමඟ ඉතා ආදරයෙන් ගත කළා. වැඩසටහන ආරම්භයේදීම ඇය ‘ගෝල්ඩන්’ ගීතය ගායනා කරමින් ප්රේක්ෂකයන්ව මවිතයට පත් කළ අතර, තමන්ගේ දරුවන් වන රිවර් සහ රෙමි සමඟ ගත කළ අමතක නොවන මතකයන් ගැන ඇය කතා කළා. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් සහ පවුලේ ස්ථාවරත්වය වෙනුවෙන් මේ තීරණය ගත් බව ඇය සඳහන් කළා. දරුවන් වේදිකාවට කැඳවා ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගනිද්දී කෙලීගේ දෑසට කඳුළු උනන අයුරු දැකගන්න ලැබුණා.
වැඩසටහන අවසානයේදී ඇය තමන්ගේ කාර්ය මණ්ඩලයට සහ රසිකයන්ට ස්තූති කළේ හද පිරි සතුටකින්. ‘ජීවිතේ නරක දේවල් එනකොට ඒ දේවල්වලට කොටු වෙන්න එපා, ඒ වෙනුවට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන්න’ යනුවෙන් ඇය ප්රේක්ෂකයන්ට ඉතා වටිනා පණිවිඩයක් ලබා දුන්නා. වසර හතක් පුරා තමන්ගේ නිවෙස්වලට ආගන්තුකයෙක් ලෙස පැමිණි තමන්ව පිළිගැනීම ගැන ඇය සැමට ස්තූති කළා. අවසාන මොහොතේදීත් ඇය තමන්ගේ සුපුරුදු ආදර්ශ පාඨය වන ‘අද දවස හොඳ නැත්නම්, එය වෙනස් කරගන්න’ කියන වදන් සිහිපත් කරමින් වැඩසටහන නිමා කළා. ඇයගේ මේ සමුගැනීම රසිකයන්ට නම් ඇත්තටම සංවේදී මොහොතක් වුණා.

Discussion & Feedback