ඉතියෝපියාවේ සුපිරි මලල ක්රීඩක යොමිෆ් කෙජෙල්චා පසුගිය ඉරිදා බුවනෝස් අයර්ස් නුවර පැවති ලෝක මලල ක්රීඩා මාර්ග තරඟාවලියේදී අර්ධ මැරතන් ලෝක වාර්තාව තමන් සතු කරගන්න සමත් වුණා. ඔහු මෙම දුර ප්රමාණය මිනිත්තු 56යි තත්පර 51කින් අවසන් කරමින්, මීට පෙර උගන්ඩාවේ ජේකබ් කිප්ලිමෝ සතු ව තිබූ වාර්තාව තත්පර 29කින් අලුත් කිරීමටයි කටයුතු කළේ. මීට පෙර 2024 ඔක්තෝබර් මාසයේදී වැලෙන්සියා හිදී පැවති තරඟයකදී මිනිත්තු 57යි තත්පර 30ක කාලයක් වාර්තා කරමින් කෙජෙල්චා මෙම වාර්තාව තබා තිබුණත්, පසුව කිප්ලිමෝ එය බිඳ දැමුවා. නමුත් දැන් නැවතත් කෙජෙල්චා ඉතාමත් දක්ෂ ලෙස එම වාර්තාව තමන් වෙතම ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.
29 හැවිරිදි වියේ පසුවන කෙජෙල්චා මීට පෙර 10,000 මීටර් මාර්ග ධාවන තරඟයේ ලෝක වාර්තාවටත් හිමිකම් කියන ක්රීඩකයෙක්. ඒ විතරක් නෙවෙයි, මේ වසරේ ලන්ඩන් මැරතන් තරඟයේදී පැය දෙකකට අඩු කාලයකින් තරඟය අවසන් කළ පළමු ක්රීඩකයන් අතරට එක්වීමටත් ඔහුට හැකි වුණා. එහිදී කෙන්යාවේ සෙබස්තියන් සාවේට පසුව දෙවන ස්ථානයට පත් වුණත්, කෙජෙල්චාගේ දක්ෂතාවය ලොව පුරාම කතාබහට ලක් වුණා. මේ වන විට ඔහු අර්ධ මැරතන් ඉසව්වේ ලෝකයේ වේගවත්ම ක්රීඩකයා ලෙස නැවතත් ඔප්පු කර තිබෙනවා. ඔහුගේ මෙම දක්ෂතාවය ඉදිරියේදී නිල වශයෙන් තහවුරු කිරීමට නියමිතයි.

Discussion & Feedback