පේරු රාජ්‍යයේ පැවති අතිශය තියුණු ජනාධිපතිවරණයෙන් අවසානයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දක්ෂිණාංශික අපේක්ෂිකා කයිකෝ ෆුජිමෝරි සමත් වෙලා තියෙනවා. පසුගිය ජුනි 7 වැනිදා පැවති ඡන්ද විමසීමෙන් ඇය සිය ප්‍රතිවාදියා වූ රොබර්ටෝ සැන්චෙස් පරාජය කළේ ඉතාමත් අඩු ඡන්ද පරතරයකින්. මැතිවරණ කොමිසමේ නිල දත්තවලට අනුව ඇය ඡන්ද ප්‍රතිශතයෙන් 50.135ක් ලබා ගනිද්දී සැන්චෙස් ලබා ගත්තේ 49.865ක් පමණයි. මෙය ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සිව්වන අවස්ථාව වන අතර, රටේ පවතින අපරාධ මර්දනය කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම ඇගේ ප්‍රධාන පොරොන්දු අතර තිබුණා.
කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් විපක්ෂ අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් දැඩි විරෝධයක් පළ කරනවා. මැතිවරණයේදී අක්‍රමිකතා සිදුවී ඇති බව පවසන ඔහු, ප්‍රතිඵලය අවලංගු කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම් වෙනවා. කයිකෝ ෆුජිමෝරි යනු හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණිය වන අතර, ඇයගේ මෙම ජයග්‍රහණය ලතින් ඇමරිකානු දේශපාලනයේ දක්ෂිණාංශික රැල්ලක් ඇතිවෙමින් පවතින බවට කදිම නිදසුනක් ලෙස විචාරකයින් දකිනවා. එළඹෙන ජූලි 28 වැනිදා ඇය පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දීමට නියමිතයි.
පසුගිය දශකය තුළ පේරු රාජ්‍යයේ දේශපාලන අස්ථාවරත්වයක් පැවති අතර, නව ජනාධිපතිවරිය ලෙස ඇයට රටේ ආර්ථිකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇති. විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලීම සහ විදේශ ආයෝජන දිරිමත් කිරීම ඇගේ ඉදිරි පියවරයන් වනු ඇති බවයි වාර්තා වෙන්නේ. කලාපයේ අනෙකුත් රටවලත් මෙවැනිම දක්ෂිණාංශික නායකයින් බලයට පත්වීමත් සමඟ ලතින් ඇමරිකාවේ දේශපාලන ගමන් මග ඉදිරියේදී වෙනස් වනු ඇති බවටයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback