හොලිවුඩ් සිනමාවේ ගොඩ්සිල්ලා වර්සස් කොන්ග් (Godzilla vs. Kong) සහ ගොඩ්සිල්ලා x කොන්ග් (Godzilla x Kong) වැනි ජනප්රිය චිත්රපට හරහා ලොව පුරා රසිකයන් අතරට ගිය තරුණ රංගන ශිල්පිනී කේලි හොට්ල් හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. ඇය මිය යන විට 18 හැවිරිදි වියේ පසු වුණා. ඇමරිකාවේ මේරිලන්ඩ් ප්රාන්තයේදී සිදුවූ මෙම අවාසනාවන්ත අනතුර පිළිබඳව ඇගේ පියා වන ජොෂුවා හොට්ල් විසින් සංඥා භාෂාවෙන් සමාජ මාධ්ය ඔස්සේ තහවුරු කර තිබෙනවා. ඇය ඉගෙනුම ලැබූ ටෙක්සාස් බිහිරි පාසල විසින්ද ඇගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කේලි හොට්ල් සිනමාවට පිවිසියේ වීඩියෝ රිලේ සේවාවක් සඳහා වූ වෙළඳ දැන්වීමක් හරහායි. ගොඩ්සිල්ලා චිත්රපට මාලාවේ ‘ජියා’ නම් බිහිරි දැරියගේ චරිතයට පණ පෙවූ ඇය, එම රංගනය වෙනුවෙන් සෙනසුරු සම්මාන උළෙලේදී හොඳම තරුණ රංගන ශිල්පිනිය සඳහා නිර්දේශ වීමටත් සමත් වුණා. ඇය මැග්නම් පී.අයි. (Magnum P.I.) වැනි රූපවාහිනී කතාමාලාවලත් රංගනයෙන් දායක වී තිබෙනවා. ඇගේ අකල් වියෝව සිනමා ලෝලීන් අතර විශාල කම්පනයක් ඇති කර තිබෙන අතර, ඇගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස පාසල් බලධාරීන් ඉල්ලා සිටිනවා. ඇය ඉදිරියේදී තවත් චිත්රපට කිහිපයකටම රංගනයෙන් දායක වීමට නියමිතව සිටි බවත් වාර්තා වෙනවා.

Discussion & Feedback