දිනෙන් දින ඉහළ යන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගූගල් සමාගම මේ වන විට විශේෂ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ නැගී එන සමාගමක් වන ‘කයිරෝස් පවර්’ (Kairos Power) සමඟ ගූගල් ආයතනය ගිවිසුමකට එළඹ ඇති අතර, එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සැම්සුන් සී ඇන්ඩ් ටී (Samsung C&T) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කිරීමට එකඟ වී තිබෙනවා. මෙම මුදලින් ඩොලර් මිලියන 70ක් කොටස් ආයෝජනයක් ලෙසත්, ඉතිරිය ඉංජිනේරු සේවා සැපයීම සඳහාත් යොදවන බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් නවීන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී භාවිතා කරන ‘ෆ්ලෝරයිඩ් ලුණු’ සිසිලන තාක්ෂණය සහ ‘ට්රයිසෝ’ (TRISO) නම් විශේෂිත න්‍යෂ්ටික ඉන්ධන වර්ගය මගින් අනතුරු අවම කරමින් ආරක්ෂිතව විදුලිය උත්පාදනය කිරීමට කයිරෝස් පවර් සමාගම බලාපොරොත්තු වෙනවා. ලොව පුරා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉදිකිරීමේ අත්දැකීම් බහුල සැම්සුන් සමාගමේ සහයෝගය ලැබීම නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වේගයෙන් සහ සාර්ථකව නිම කිරීමට හැකි වනු ඇතැයි ගූගල් සමාගම විශ්වාස කරනවා. 2035 වසර වන විට මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් න්‍යෂ්ටික බලශක්තියෙන් ලබා ගැනීම ගූගල් සමාගමේ දිගුකාලීන ඉලක්කයයි.

Discussion & Feedback