මහර බන්ධනාගාරයේ පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිටුපස බන්ධනාගාර තුළ පවතින තදබදය පමණක් නොව, පිටතින් පැමිණි සංවිධානාත්මක පිරිසකගේ බලපෑමක් තිබේද යන්න ගැන මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන පරිදි, මූලික වශයෙන් මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර වුවත්, මත්ද්‍රව්‍ය මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල නිසා ඇතිවූ කලකිරීමක් මෙයට බලපා තිබේද යන්නත් සොයා බලමින් ඉන්නවා. දැනටමත් මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් 14 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාරවල පවතින අධික තදබදය විසඳීම සඳහා ඇප ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම වැනි ගැටලු විසඳීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා පමණක් රැඳවියන් 23,000ක් පමණ බන්ධනාගාරගතව සිටින බවත්, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මත්ද්‍රව්‍ය සැපයුම නතර කිරීමට නීතිය ක්‍රියාත්මක කළත්, සමාජයක් ලෙස මත්ද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අඩු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ. කෙසේ වෙතත්, බන්ධනාගාර තුළ මෙවැනි සිදුවීම් අහඹු ලෙස ඇති නොවූ බවත්, පිටතින් කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙයට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Discussion & Feedback