ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට කටාර් රජයෙන් තෑග්ගක් ලෙස ලැබුණු නව ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානයේ ආරක්ෂක ගැටලු පිළිබඳව වාර්තා කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්යවේදීන්ට එරෙහිව ගෙන තිබූ නීතිමය පියවරයන් අත්හිටුවීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. මෙම යානයේ මිසයිල නාශක තාක්ෂණය ඇතුළු ආරක්ෂක විශේෂාංග කිහිපයක්ම නොමැති බවට මෙම මාධ්යවේදීන් කරුණු අනාවරණය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් රජය විසින් සිදුකළ පරීක්ෂණවලදී, තොරතුරු ලබාදුන් පාර්ශ්වයන් සොයා ගැනීමට මාධ්යවේදීන්ගේ දුරකථන වාර්තා පවා ලබා ගැනීමට උත්සාහ කර තිබුණා.
කෙසේ වෙතත්, මෑන්හැටන්හි එක්සත් ජනපද නීතිපති කාර්යාලය විසින් අදාළ කැඳවීම් (subpoenas) ඒකපාර්ශ්විකව ඉවත් කර ගැනීමට සූදානම් බව ෆෙඩරල් විනිසුරු අරුන් සුබ්රමනියම් හමුවේ ප්රකාශ කළා. මාධ්යවේදීන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට රජය ගත් උත්සාහය විනිසුරුවරයා දැඩි ලෙස විවේචනය කළ අතර, මෙවැනි ක්රියාමාර්ග අවසාන විසඳුම විය යුතු බවත් පළමු පියවර නොවන බවත් ඔහු පෙන්වා දුන්නා. නිව්යෝර්ක් ටයිම්ස් ආයතනය පවසන්නේ මෙම නීතිමය පියවරයන් ඔවුන්ගේ වාර්තාකරණයට එරෙහිව ද්වේෂසහගතව ගත් ක්රියාමාර්ගයක් බවයි.
ජූලියන් ඊ. බාන්ස්, එරික් ලිප්ටන් සහ එරික් ෂ්මිට් ඇතුළු මාධ්යවේදීන් පිරිසක් මෙම වාර්තාකරණයට සම්බන්ධ වී සිටි අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ දුරකථන වාර්තා පවා ලබා ගැනීමට රජය උත්සාහ කිරීම විශාල කතාබහකට ලක්වුණා. කෙසේ වෙතත්, අවසානයේදී රජය මෙම තීරණයෙන් පසුබැසීම මාධ්ය නිදහස වෙනුවෙන් ලැබුණු ජයග්රහණයක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ.

Discussion & Feedback