බ්රහස්පති ග්රහයාගේ අයිස්වලින් වැසුණු යුරෝපා සඳ මත ජීවයේ සලකුණු තිබේදැයි සොයා බැලීමට නාසා ආයතනය මේ වන විටත් ‘යුරෝපා ක්ලිපර්’ යානය අභ්යවකාශයට යවා තිබෙනවා. විද්යාඥයන් විශ්වාස කරන්නේ යුරෝපා සඳේ අයිස් තට්ටුවට යටින් පෘථිවියේ සාගරවලට වඩා දෙගුණයක් විශාල ජල කඳක් පවතින බවයි. මෙම යානය මගින් එම සාගරයේ රසායනික සංයුතිය අධ්යයනය කිරීමට සැලසුම් කර තිබුණත්, නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ එම ජලය මතුපිටට පැමිණීම අප සිතනවාට වඩා අසීරු විය හැකි බවයි.
රට්ගර්ස් විශ්වවිද්යාලයේ විද්යාඥ ලුජේන්ද්ර ඕජා ප්රමුඛ කණ්ඩායමක් සිදුකළ පරිගණක ආකෘති පරීක්ෂණවලින් පෙනී යන්නේ, අභ්යන්තර සාගරයේ සිට මතුපිටට ජලය ගලා එන විට එය ඉතා වේගයෙන් සිසිල් වී අයිස් බවට පත්වන බවයි. ජලය ඉහළට එන අතරතුර ඇතිවන කැළඹිලි ස්වභාවය නිසා තාපය වේගයෙන් පිටවී, අයිස් ස්ඵටික මගින් එම මාර්ග අවහිර වී යනවා. මේ නිසා සාගරයේ ඇති ජලය මතුපිටට පැමිණීම බොහෝ විට සිදු නොවන්නට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙම සොයාගැනීම මගින් 2030 වසරේදී යුරෝපා වෙත ළඟා වීමට නියමිත යුරෝපා ක්ලිපර් යානය සහ යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ JUICE මෙහෙයුම මගින් ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමේදී විද්යාඥයන්ට වඩාත් සැලකිලිමත් වීමට සිදුවනු ඇති. කෙසේ වෙතත්, මෙම අභියෝග මධ්යයේ වුවද යුරෝපා සඳේ රහස් හෙළි කර ගැනීමට විද්යාඥයන් දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback