ලොව පුරා බොහෝ දෙනෙක් දැන හඳුනා ගත්, ‘ස්විෆ්ට් ජස්ටිස්’ (Swift Justice) රූපවාහිනී වැඩසටහන හරහා ජනප්රිය වුණු හිටපු විනිසුරු ජැකී ග්ලාස් වයස අවුරුදු 70ක්ව තිබියදී අභාවප්රාප්ත වෙලා තියෙනවා. ඇය පසුගිය සිකුරාදා දහවල් ලාස් වේගාස් නුවරදී මියගිය බව වාර්තා වෙනවා. ඇගේ දියණිය වන රේචල් වුල්ෆ්සන් සමාජ මාධ්ය ඔස්සේ තම මව සිහිපත් කරමින් ඉතා සංවේදී සටහනක් තබා තිබුණා. ඇය පවසා තිබුණේ තම ජීවිතයේ ශක්තිය වූ මව නැතිව තමන් කෙසේ ජීවත් වේදැයි සිතාගත නොහැකි බවයි.
ජැකී ග්ලාස් ලෝකයේම අවධානය දිනාගත්තේ 2008 වසරේදී ඕ.ජේ. සිම්ප්සන්ට වසර 33ක සිරදඬුවමක් ලබා දීමත් සමඟයි. ලාස් වේගාස් හෝටලයකදී සිදු වූ සන්නද්ධ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඇය ලබා දුන් එම තීන්දුව එකල ලොකු කතාබහකට ලක් වුණා. ඉන්පසුව 2011 වසරේදී ඇය ‘ස්විෆ්ට් ජස්ටිස්’ වැඩසටහනේ නිවේදිකාව ලෙස එක්වෙමින් රූපවාහිනී ක්ෂේත්රයටත් පිවිසුණා. 2012 අප්රේල් මාසයේදී එම වැඩසටහන අවසන් වන තුරුම ඇය එහි කටයුතු කළා.
ඇයගේ අභාවය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ශෝකය පළ කර තිබෙනවා. ඇයගේ සැමියා වන ක්ලාක් කවුන්ටි දිස්ත්රික් නීතිඥ ස්ටීව් වුල්ෆ්සන් සහ දියණියන් දෙදෙනා ඇයගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටිනවා. නීති ක්ෂේත්රයේ මෙන්ම රූපවාහිනී ක්ෂේත්රයේත් තමන්ගේම අනන්යතාවක් ගොඩනඟා ගත් ජැකී ග්ලාස්ගේ වියෝව බොහෝ දෙනෙකුට විශාල පාඩුවක් වී තිබෙනවා.

Discussion & Feedback