එලොන් මස්ක්ගේ X සමාගම සහ ‘Operation Bluebird’ නමැති නව සමාගමක් අතර පැවති වෙළඳ නාම අයිතිය පිළිබඳ නඩු විභාගයකදී ඇමරිකානු අධිකරණයක් විසින් වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ නව සමාගම මුලින්ම ‘Twitter.now’ නමින් තම සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට උත්සාහ කළත්, අධිකරණය විසින් එම නම භාවිත කිරීම තහනම් කළා. කෙසේ වෙතත්, X සමාගම විසින් අතහැර දමා ඇති ‘Tweet’ යන වචනය සහ සුප්‍රසිද්ධ කුරුළු ලාංඡනය භාවිත කිරීමට මෙම නව සමාගමට අවසර ලැබී තිබීම විශේෂත්වයක්. මේ අනුව ඔවුන් දැන් ‘Tweet.app’ නමින් තම සේවාව ජනතාවට විවෘත කර තිබෙනවා.
මෙම සමාගම පිටුපස සිටින්නේ නීතිඥවරුන් දෙදෙනෙක්. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ එලොන් මස්ක් විසින් X ලෙස නම වෙනස් කිරීමේදී අතහැර දැමූ වෙළඳ නාම අයිතීන් ලබා ගැනීමයි. මේ වන විටත් ලක්ෂ 1.7කට අධික පිරිසක් මෙම නව සමාජ මාධ්‍ය ජාලයට සම්බන්ධ වීමට ඉල්ලුම් කර තිබෙනවා. පරිශීලකයන්ගෙන් ඩොලර් 20ක මුදලක් අය කරමින් ඔවුන් මෙම සේවාව පවත්වාගෙන යන අතර, නීතිමය වියදම් පියවා ගැනීමට එය උපකාරී වන බවයි පැවසෙන්නේ.
අධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, X සමාගම විසින් ‘Tweet’ යන වචනය සහ කුරුළු ලාංඡනය භාවිත කිරීම අතහැර දමා ඇති බව පෙනී යන නිසා, ඒවා වෙනත් පාර්ශ්වයකට භාවිත කළ හැකි බවයි. කෙසේ වෙතත්, මෙය තවමත් මූලික තීන්දුවක් පමණක් වන අතර, ඉදිරියේදී මෙම වෙළඳ නාමවල අයිතිය කා සතුද යන්න පිළිබඳව තවදුරටත් නඩු විභාග පැවැත්වෙනු ඇති. ‘ට්වීට්’ කියන වචනය සමාජය තුළ තවමත් ජීවමානව පවතින නිසා එය තමන්ට අයිති විය යුතු බවයි ‘Operation Bluebird’ සමාගමේ මතය වී තිබෙන්නේ.

Discussion & Feedback