එලොන් මස්ක්ගේ X සමාගම සහ ‘Operation Bluebird’ නමැති නව සමාගමක් අතර පැවති වෙළඳ නාම අයිතිය පිළිබඳ නඩු විභාගයකදී ඇමරිකානු අධිකරණයක් විසින් වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා. මීට පෙර ‘Twitter.now’ නමින් සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට උත්සාහ කළ මෙම ආයතනයට ‘Twitter’ යන නම භාවිත කිරීම අධිකරණය විසින් තහනම් කළා. කෙසේ වෙතත්, X සමාගම විසින් අතහැර දමා ඇති ‘Tweet’ යන වචනය සහ සුප්‍රසිද්ධ කුරුළු ලාංඡනය භාවිත කිරීමට මෙම නව සමාගමට අවසර ලැබී තිබීම විශේෂත්වයක්. මේ වන විට ඔවුන් ‘Tweet.app’ නමින් සිය වෙබ් අඩවිය නැවත නම් කරමින් මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.
මෙම නඩුව මෙහෙයවනු ලබන්නේ නීතිඥවරුන් දෙදෙනෙකු විසින් වන අතර, ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ එලොන් මස්ක් විසින් X ලෙස නම වෙනස් කිරීමේදී අතහැර දැමූ වෙළඳ නාම අයිතිය ලබා ගැනීමයි. දැනටමත් ලක්ෂ 1.7කට අධික පිරිසක් මෙම නව සමාජ මාධ්‍ය ජාලයට සම්බන්ධ වීමට ඉල්ලුම් කර තිබෙනවා. පරිශීලකයින්ගෙන් ඩොලර් 20ක මුදලක් අය කරමින් ඔවුන් මෙම සේවාව පවත්වාගෙන යන අතර, එය නීතිමය වියදම් පියවා ගැනීමට උපකාරී වන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, මෙම තීන්දුව තාවකාලික එකක් වන අතර, ඉදිරියේදී X සමාගමට අදාළ වෙළඳ නාමවල අයිතිය තවදුරටත් තිබේද යන්න පිළිබඳව වැඩිදුර නඩු විභාග පැවැත්වීමට නියමිතයි.

Discussion & Feedback