‘හෑම්බර්ගර් හිල්’ සහ ‘ටින්කර් ටේලර් සොල්ජර් ස්පයි’ වැනි විශිෂ්ට නිර්මාණ හරහා ලෝක සිනමාවේ නොමැකෙන සලකුණක් තැබූ ප්රවීණ බ්රිතාන්ය සිනමා අධ්යක්ෂ ජෝන් අර්වින් සිය 86 වැනි වියේදී අභාවප්රාප්ත වුණා. පසුගිය අගෝස්තු 11 වැනිදා සිය පවුලේ සාමාජිකයන් වටවී සිටියදී ඔහු ඉතා සාමකාමීව අවසන් හුස්ම හෙළූ බවයි වාර්තා වෙන්නේ. දශක ගණනාවක් පුරා විහිදුණු සිය වෘත්තීය ජීවිතය තුළ චිත්රපට, වාර්තා චිත්රපට සහ රූපවාහිනී කතාමාලා 30කට අධික ප්රමාණයක් අධ්යක්ෂණය කිරීමට ඔහු සමත් වුණා.
ජෝන් අර්වින්ගේ සිනමා දිවිය ඉතා විවිධාකාර එකක්. එක පැත්තකින් ආර්නෝල්ඩ් ස්වාර්සෙනෙගර් වැනි නළුවන් සමඟ ක්රියාදාම චිත්රපට නිර්මාණය කළ ඔහු, අනෙක් පැත්තෙන් හැරල්ඩ් පින්ටර් වැනි ලේඛකයන්ගේ ගැඹුරු නිර්මාණ සිනමාවට නැගීමටත් පසුබට වුණේ නැහැ. සර් ඇලෙක් ගිනස් වැනි දැවැන්තයන් රංගනයෙන් දායක වූ ‘ටින්කර් ටේලර් සොල්ජර් ස්පයි’ රූපවාහිනී කතාමාලාව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. එපමණක් නොවෙයි, සර් ඇන්තනි හොප්කින්ස් වැනි ප්රවීණයන්ට සිය වෘත්තීය ජීවිතයේ මුල්ම අවස්ථා ලබා දුන්නේත් ජෝන් අර්වින් විසින්.
ඔහුගේ සිනමා ගමන ආරම්භ වුණේ වාර්තා චිත්රපට අධ්යක්ෂණයෙන්. 1963 වසරේදී ඔහු අධ්යක්ෂණය කළ ‘Inheritance’ වාර්තා චිත්රපටය වෙනුවෙන් ඔහුට සිය පළමු BAFTA සම්මානය හිමි වුණා. එතැන් පටන් දශක තුනක් පුරා ඔහු BAFTA සම්මාන සඳහා නිර්දේශ වීමට තරම් දක්ෂයෙක් වුණා. සිනමා ලෝකයට ඔහු කළ මෙහෙය සදා අමරණීයයි.

Discussion & Feedback