ප්රවීණ කඳු නගින්නෙක් වන ජොහාන් පීරිස් උතුරු ඇමරිකාවේ උසම කන්ද වන මීටර් 6,190ක් උසැති ඩෙනාලි කන්ද ජයග්රහණය කරමින් ශ්රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ යළිත් බැබළවීමට සමත් වුණා. පසුගිය ජූනි 17 වැනිදා ඔහු මෙම දැවැන්ත කඳු මුදුනට ළඟා වුණේ වසර ගණනාවක කැපවීම, විවිධ බාධක සහ අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුවයි. ලෝකයේ තාක්ෂණික වශයෙන් ඉතාම අසීරු සහ අභියෝගාත්මක කඳු තරණයන් අතරින් එකක් ලෙස සැලකෙන ඩෙනාලි කන්ද ජයගැනීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී ජයග්රහණයක් වෙනවා.
මෙම ජයග්රහණය ගැන අදහස් දක්වමින් ජොහාන් පවසන්නේ මෙය තමන්ට පමණක් නොව මුළු ශ්රී ලංකාවටම ආඩම්බර විය හැකි මොහොතක් බවයි. ලෝකයේ මහද්වීප හතේ උසම කඳු හත තරණය කිරීමේ ‘සෙවන් සමිට්ස්’ (Seven Summits) අභියෝගය ජයගැනීමට උත්සාහ කරන එකම ශ්රී ලාංකිකයා වන්නේද ඔහුයි. මේ වන විට ඔහු ඉන් කඳු හයක්ම සාර්ථකව තරණය කර අවසන්. තවත් එක් කන්දක් පමණක් ඉතිරිව ඇති ඔහුගේ මෙම ගමන ශ්රී ලාංකිකයන්ගේ නොපසුබට උත්සාහයේ සහ අධිෂ්ඨානයේ සංකේතයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඩෙනාලි කන්ද තරණය කිරීමේදී පවතින අන්ත කාලගුණික තත්ත්වයන් සහ අධික සීතල නිසා වසරකට දහසකට අධික පිරිසක් උත්සාහ කළත්, ඉන් ඉතා සුළු පිරිසකට පමණයි කඳු මුදුනට ළඟා වීමට හැකි වන්නේ. එවැනි අභියෝගාත්මක පසුබිමක ජොහාන් පීරිස් ලබාගත් මෙම ජයග්රහණය ශ්රී ලාංකිකයන් හැමෝටම විශාල ආදර්ශයක්. ඔහුගේ ඉදිරි කඳු තරණ කටයුතු සාර්ථක වේවායි අපි ප්රාර්ථනා කරනවා.

Discussion & Feedback