බ්රිතාන්යයේ ප්රධාන පෙළේ මාධ්ය ආයතන දෙකක් වන ස්කයි (Sky) සහ අයි.ටී.වී. (ITV) පවුම් බිලියන 1.6ක දැවැන්ත ගනුදෙනුවක් හරහා එකතු වීමට තීරණය කර තිබෙනවා. යූ ටියුබ්, ටික්ටොක් සහ මෙටා වැනි ගෝලීය සමාගම් සමඟ තරග කිරීමේ අරමුණින් මෙම ඒකාබද්ධ වීම සිදු කෙරෙන අතර, මෙය බ්රිතාන්ය විනෝදාස්වාද ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව නිල වශයෙන් අවසන් වීමට තවත් වසරක් හෝ එකහමාරක් වැනි කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම බ්රිතාන්යයේ තරගකාරී කොමිෂන් සභාවේ සහ නියාමන ආයතනවල දැඩි පරීක්ෂාවකට මෙම ගනුදෙනුව ලක්වීමට නියමිතයි.
මෙම ඒකාබද්ධ වීමත් සමඟ ආයතන දෙකේම තාක්ෂණික සහ අලෙවිකරණ අංශවල වියදම් කපා හැරීමට සැලසුම් කර තිබෙනවා. එහි ප්රතිඵලයක් ලෙස සේවක කප්පාදුවක් සිදුවිය හැකි බවටත් ඉඟි පළවී තිබෙනවා. කෙසේ වෙතත්, ස්කයි සහ අයි.ටී.වී. ප්රවෘත්ති සේවාවන්වලට කිසිදු බලපෑමක් නොවන බවත්, 2030 වසර දක්වා ඒවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් සමාගම් පවසනවා. අයි.ටී.වී. ස්ටූඩියෝස් මෙම ගනුදෙනුවට ඇතුළත් නොවන නමුත්, ස්කයි සතු ‘ලව් ප්රඩක්ෂන්ස්’ ආයතනය අයි.ටී.වී. වෙත පැවරීමට නියමිතයි. ඉදිරි කාලයේදී මෙම දැවැන්ත ඒකාබද්ධ වීම බ්රිතාන්ය මාධ්ය ක්ෂේත්රයේ අනාගතයට කෙබඳු බලපෑමක් කරයිද යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback