හොලිවුඩ් සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දශක ගණනාවක් පුරා සිය රංගන දක්ෂතා විදහා දැක්වූ ජනප්‍රිය නිළි ජොආනා පෙටෙට් පසුගියදා අභාවප්‍රාප්ත වුණා. ඇය මිය යන විට 83 වන වියේ පසු වූ අතර, ඇගේ සමීපතම මිතුරියක වන පැම් ඩුබොයිස් විසින් මේ බව සමාජ මාධ්‍ය හරහා තහවුරු කර තිබුණා. ජොආනාගේ පුත්‍රයා මියගොස් හරියටම වසර 31ක් සපිරෙන දිනයේම ඇය මෙලොවින් සමුගැනීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ඇය සිය පුත්‍රයා සමඟ නැවත එක්වීමට ස්වර්ගයට ගිය බවයි ඇගේ මිතුරියන් පවසන්නේ.
1966 වසරේ තිරගත වූ ‘ද ගෲප්’ චිත්‍රපටය හරහා ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජොආනා, පසුව ‘කැසිනෝ රෝයල්’ වැනි ජනප්‍රිය නිර්මාණ රැසකට දායක වුණා. ඇය සිනමාවට පමණක් නොව, හැත්තෑව සහ අසූව දශකවල විකාශය වූ ‘චාලිස් ඒන්ජල්ස්’, ‘නයිට් රයිඩර්’ සහ ‘නොට්ස් ලෑන්ඩින්’ වැනි අතිශය ජනප්‍රිය ටෙලි කතා මාලා හරහා ද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ලන්ඩනයේ උපත ලබා ඇමරිකාවට සංක්‍රමණය වූ ඇය, බ්‍රෝඩ්වේ වේදිකා නාට්‍යවල ද සිය රංගන කුසලතාව මැනවින් පෙන්වූ දක්ෂ නිළියක්.
ඇගේ ජීවිතය පිළිබඳ කතාබහ කරන විට 1969 වසරේ සිදුවූ ශැරොන් ටේට් ඝාතනයට පෙර දින ඇයව හමුවීමට ගිය මිතුරියන් අතර ජොආනා ද සිටීම විශේෂ සිදුවීමක්. ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ ‘වන්ස් අපන් අ ටයිම් ඉන් හොලිවුඩ්’ චිත්‍රපටයේ ද මෙම සිදුවීම නිරූපණය කර තිබුණා. කෙසේ වෙතත්, ඇගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ. හොලිවුඩ් සිනමාවේ යුගයක නිමාව සනිටුහන් කරමින් ඇය මෙලොවින් සමුගැනීම බොහෝ රසිකයන්ට කනගාටුවක් වී තිබෙනවා.

Discussion & Feedback