ඉන්දියාවේ ජනප්රිය ජියෝ ස්ටාර් (JioStar) ආයතනය තමන්ගේ ජියෝ හොට්ස්ටාර් (JioHotstar) ස්ට්රීමින් සේවාව එක්සත් රාජධානිය, කැනඩාව සහ සිංගප්පූරුව යන රටවල් දක්වා පුළුල් කිරීමට පියවර අරගෙන තියෙනවා. මේ නව වෙනසත් එක්ක කලින් තිබුණු හොට්ස්ටාර් සේවාව වෙනුවට වඩාත් දියුණු පහසුකම් සහ අලුත් අත්දැකීම් සහිත ජියෝ හොට්ස්ටාර් ඇප් එක ඒ රටවල ප්රේක්ෂකයන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මේ හරහා ‘අසුර්’, ‘ක්රිමිනල් ජස්ටිස්’ වගේ ජනප්රිය වෙබ් සීරීස් සහ තවත් අලුත්ම චිත්රපට රැසක් නරඹන්න අවස්ථාව ලැබෙනවා.
විශේෂයෙන්ම දකුණු ආසියානු ප්රේක්ෂකයන් ඉලක්ක කරගෙන හඳුන්වා දෙන මේ සේවාව තුළ පැය එක්ලක්ෂ හැට දහසකට අධික අන්තර්ගතයන් ප්රමාණයක් ඇතුළත් කරලා තියෙනවා. බිග් බොස් වැනි ජනප්රිය වැඩසටහන් භාෂා හයකින් නැරඹීමටත්, සජීවීව ඡන්දය ප්රකාශ කිරීමටත් මෙහිදී හැකියාව ලැබෙනවා. ඒ වගේම අනිල් කපූර් ඉදිරිපත් කරන ‘ඉන්දියා කා ටොප් වන් පර්සන්ට්’ වැනි අලුත්ම වැඩසටහන් සහ ස්ටාර් ප්ලස්, කලර්ස් වැනි නාලිකාවල වැඩසටහන් ටීවී එකේ විකාශය වෙන්න කලින්ම නරඹන්නත් මේ හරහා ප්රේක්ෂකයන්ට පුළුවන්.
මේ සේවාව සඳහා මාසික දායකත්ව ක්රම වෙනුවට කාර්තුමය සහ වාර්ෂික දායකත්ව ක්රම හඳුන්වා දීලා තියෙනවා. ජියෝ ස්ටාර් ආයතනයේ ජාත්යන්තර ව්යාපාර ප්රධානී අමිත් මල්හෝත්රා පවසන්නේ, ඔවුන් උත්සාහ කරන්නේ හුදෙක් ඉන්දියානු වැඩසටහන් විදේශයන්ට යැවීමට පමණක් නොව, ප්රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබා දෙමින් ලෝක මට්ටමේ විනෝදාස්වාදයක් ගොඩනැගීමට බවයි. ඉදිරියේදී සෑම වසරකම අලුත් අන්තර්ගතයන් තිස් දහසක් එකතු කිරීමටත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා.

Discussion & Feedback