ලොව පුරා බොහෝ දෙනෙක් ආදරය කරපු ‘The Suite Life of Zack & Cody’ කතා මාලාවේ සම නිර්මාතෘ සහ විධායක නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරපු ජිම් ජියෝගන් පසුගිය ඉරිදා ලොස් ඇන්ජලීස් නුවරදී අභාවප්රාප්ත වුණා. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු ඔහුගේ දියණිය වන ජෙනිවීව් ජියෝගන් විසින් තහවුරු කර තිබුණත්, මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.
ජිම් ජියෝගන් තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1970 දශකයේ මුල් භාගයේදී ‘Divided We Stand’ නමැති ප්රහසන කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහටයි. පසුව ඔහු ‘Three’s Company’, ‘Silver Spoons’ සහ ‘Family Matters’ වැනි ජනප්රිය රූපවාහිනී වැඩසටහන් රැසකටම තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වුණා. විශේෂයෙන්ම 2005 වසරේදී ඔහු නිර්මාණය කරපු ‘The Suite Life of Zack & Cody’ කතා මාලාව ලොව පුරා තරුණ පරපුර අතර ඉතාමත් ජනප්රිය වුණා. එම කතා මාලාව එමි සම්මාන සඳහා පවා නිර්දේශ වුණා.
රූපවාහිනී ක්ෂේත්රයට අමතරව වේදිකා නාට්ය කලාවටත් ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා. ඔහු විසින් රචනා කරපු ‘Only Kidding’ නාට්යය ඉතා සාර්ථකව වේදිකාගත වුණා. වසර 45ක් පුරා ආදරයෙන් බැඳී සිටි ඔහුගේ බිරිඳ ඇනී සහ දියණිය ජෙනිවීව් ඇතුළු පවුලේ අය මේ වන විට ඔහුගේ වියෝවෙන් දැඩි ශෝකයට පත්ව සිටිනවා. ජනප්රිය වැඩසටහන් රැසකට ජීවය දුන් මේ විශිෂ්ට කලාකරුවාගේ වියෝව රසිකයන්ට ලොකු පාඩුවක්.

Discussion & Feedback